වැදි දෙටුවාගේ කවිය :
ඉන්නේ නිරිඳු හට පන්සියයක් වැදි පිරිසයා -අඳූ
නන්නේ නැතිව අපේ නිරිඳුගෙ තෙද එකුමරයා
දුන්නේ පිරුලු බස් ඔහු තෙපලු ලෙස සත්තයා - මර
වන්නේ තෙදැති රජ කුමරු අපෙ නිරිඳුට කියා
(දෙටුවා පිටත් වී යයි. බිසව තම සැමියා සිටින තැනට යයි. ඉතිරි වැද්දෝ දුනු හී අමෝරා ගෙන සිටිති. බෙර වාදකයෝ ආසිරි කවි ගයති.)
එවන රජ කරනා
කුරිරු වැදි රජ සැණිනා
දුනු හී ද රැගෙනා
ඇවිදිනා සඳ දුටිය දෙදෙනා
දැක බිසවට ලොබින්
නිරිඳු හට තද රොසයෙන්
මගෙ මෙම වනයෙන්
කොතන යව්දැයි ඇසිය තදයෙන්
අබරණ පැළඳලා
හීය ගෙන දුන්න විදලා
යමයකු ලෙස බලා
ඒය වැදි රජු සබේ මෙකලා
(වැදි රජු සබයට පිවිස වටේ යයි. ඒ අතර බෙර වාදකයෝ තානම ගයති)
වැදි රජු දෙටුවාට : දෙටුවා මාව කැන්දූ කාරණාව වහා දන්වනු.
දෙටුවා : අපි මේ පුවක් බඩිල්ලෙක් කක කකා ඉන්න කොට මගේ සිටු කුමාරයාට බඩගිනියි කන්න දෙයක් ඇවිල්ල ඉල්ලුවා. අපිත් කක කකා හිටිය මස් ටිකක් දුන්නා.
වැදි රජු : දෙටුවා තමා දන්නෙ නැද්ද උඩින් පියාසර කරන සතෙක්වත් බිමින් බඩගාන කුර ගානා සතෙක්වත් මගේ අවසරයක් නැතිව මේ වනයට එන්නේ නැති විත්තිය.
දෙටුවා : මොකෝ දන්නේ නැත්තේ. (ප්‍රේක්ෂකයින්ට) ඒ උනාට ඔයි ඇවිල්ල ඉන්නෙ. කොහොන්ද ආවෙ කියල නන් දන්නෙ නැහැ.
වැදි රජු : ඒකෙන් කියන්නේ තමන්ගේ රාජකාරිය තමන් හරියට ඉටු නොකරපු බව
දෙටුවා : බලාගෙන තමයි උන්නේ
රජු : තොප බලන් හිටිය නම් කොහොමද ආවේ.
දෙටුවා : එන්න පුලුවන් බව නම් පේනවා.
රජු : එන්නේ කොහොමද?
දෙටුවා : කකුල් දෙකින්
රජු : තමන්ට මම ආයිත් මතක් කරනවා.
දෙටුවා : කොහොමද ඇවිල්ල ඉන්නෙ කියන විත්තිය පේනවා. බුක් බුක් වගේ ගාල සද්දයකුත් ඇහුනා.
රජු : තමා දන්නවද මගෙ අණසක? තමා නිඳා ගෙන ඉඳල තියෙනවා.
දෙටුවා : නැහැ. මන් නිඳා ගෙන උන්නෙ නැහැ. ඒ වුණාට ඇවිල්ල නම්ඉන්නවා. ඇවිල්ල ඉඳලා කන්නත් ඉල්ලුවා.
වැදි රජු : ඒ ගොල්ලො දන්නවද මේ වනන්තරේ කන්න දෙයක් නැති වග
දෙටුවා : ඒ උනාට ඒ ගොල්ලො සිතා ගෙන ඉන්නෙ මේ වනන්තරේ අපි හෝටලයක් දා ගෙන ඉන්නවා කියලා. ඇවිල්ල ඉල්ලුවා අඬ අඩා. ඉල්ලපු හින්දා දුන්නා. ඒක ආපහු ගෙනැවිල්ල මගේ ඔලුවට පටෝන් ගාල ගැහුවා.
රජු : තමාගේ ඔලුව පිපුරුනාද?
දෙටුවා : පිපුරුනාදත් අහනවා
රජු : තමා මස් කෑල්ලක් දුන්නම ඒක අරන් ගිහිල්ල ආයිමත් ඇවිල්ල ඔලුවෙ ගැහැවුවා.
දෙටුවා : ඔලුවෙ ගෙහෙවෛවා. පැලිලත් ඇති.
රජු : තමා කිවුවද ඒ අයට මෙහෙම තමන්ට රජ කෙනෙක් ඉන්නව කියල.
දෙටුවා : මොනව කියන්නද? කිට්ටු වෙන්නවත් පුලුවනෑ. අපි දිහා බලන්නෙවත් නැතිව ඉන්නෙ. අපි හරියට එයාගෙ කතාවට මඳි වගේ. මන් ඒකයි ගිහිල්ල රජ්ජුරුවන් වහන්සෙට කෙළින්ම නොකිවුවෙ.
රජු : දෙටුවා එහෙම නෙවෙයි ඔබ නැවත වරක් ගිහිල්ලා මේ වනන්තරේ කොයියම් අමතක වීමකින් හරි ආවා නම් ඒ අයට පණ බේරා ගෙන මේ වනාන්තරයෙන් පිටවෙලා යන්න කියලා කියන්න ඕන.
දෙටුවා : මං කියන්නම ඕනැද?
රජු : ඔව්. තමන් ඉක්මනට ගිහිල්ල ඒ අයට කියන්නම ඕන.
දෙටුවා : මං යන්නම ඕනෑද? (බියෙන් හා සැකයෙන් යුක්තව)
රජු : තමා බයද?
දෙටුවා : මං?
බෙර වාදකයන්ගෙන් තානම :
තන තම් දෙනා තානෙන තම් දෙනා තනා