රජු : අරණ තුලේ වැසෙනා අර වනචර වටකරන් -උන් රැගෙන පුලුටු මස් බුදිති දමා ගින්නට රොසින් වැදුන ක්‍ෂධා ගිනි නිවුමට නැත වනෙ රස බොජුන්-මට බුදින ලෙසට මොකවත් ගෙන එනු වැද්දන් අතින්
කුසගින්න ඉතා තද බැවින් වැද්දන්ගෙන් කෑමට යමක් ගොස් ඉල්ලා ගෙන එනු බිසවුනි.
තානම : තම්දෙන තම් තානෙනා තන තම්දෙනා තම් තානෙනා
බිසව :
තෝරණ සිතින් අප ගැන තොප කරුණ කොට
කුසගිනි ගාය වැඩිවිය අපෙ හිමි රජුට
තොප කන දෙයින් මොකවත් ඉල්ලා ගන්ට
සතොසින ආමි නරනිඳු සඳ කී බසට
වැදි දෙටුවා : බඩගිනි වැඩිවිය කියල ආවට මෙහේ හෝටල් දාගෙන නැහැ. ගිහිල්ල මේක දුන්නහම බළල්ලු කිරිකෑව වගේ හිටීවි. ගිහිල්ල මේක කාල අපේ රජ්ජුරුවන් එක්ක යන්න සූදානමින් ඉන්න එක හොඳයි.
බිසව : බඩගින්න නිසා ඔයි කන දෙයින් යමක් ඉල්ලා ගෙන යන්නයි ආවේ.
දෙටුවා : ඒක තමයි මම කියන්නේ. අපි මේ යන්තමට හොයාගෙන පුවක් බඩිල්ලෙක් පුච්චගෙන කක කකයි හිටියේ.
බිසව : අල්ලන්නත් කැතයි (මියගිය කටුසු සිරුරක් අල්ලා දෙයි. ඉතින් කන්නේ කොහොමද?) (බිසව එතැනින් ඉවත්ව තම සැමියා සිටින තැනට යාමට පිටත් වෙයි. වාදකයෝ තානම් ගයති.)
තම් දෙන තනා තනම් දෙන තානා තෙනානා
රජු : (මස් කෑල්ල අතට ගෙන) ළමා බොළඳ මගෙ අසනුය දී දෙසවන් යොමා- සිත පෙමා නොවන අමු මස් කනු බැරි විලසමා
නිමා නොවන කුසගිනි තිබුණත් පිළිකුල් මෙමා-එහි දමා වීසි කර එනු අමු මස් උන් රැලයෙමා
(රජු බිසවට මස් කෑල්ලක් දෙයි. බිසව එය රැගෙන වැදි දෙටුවා සමීපයට යයි)
නොව රොස් සිතින් අප වනචරයින් මගැනා
සිත තොස් නූනි තොප දුන් කෑම දකිමිනා
එපියස් මිස නරන් නැත මේවා බුදිනා
අමු මස් නොකති මගෙ හිමි අර ගනු එන්නා
(බිසව අමු මස් කෑල්ල වැදි දෙටුවා දෙසට වීසි කළාය. එය ඔහුගේ හිසේ වැදී බිම වැටේ. වැදි දෙටුවා කෑ ගසන්නට පටන් ගනිත. 'අනේ බුදු අම්මෝ' ඔහු හිස අත් තබා ගෙන කෑ ගසයි. අනිත් වැද්දෝ ඔහු වට කර ගනිති. 'හයියෝ ලේ වුරු චුරු ගාල එනවා. අනේ බුදු අම්මේ' ආදි කෑ ගැසිලි ඇසෙයි. වැදි දෙටුවා කෝපයෙන් බිසව දෙස බලා සිටියි. බෙර වාදකයෝ තානම ගයති)
තාන තඳෙන තන තාන තඳෙන තන තාන තනා