බෙර වාදකයා තානම :
තම් දෙන තන තනෙන -තන තෙන නා
මන් සිත තුට වඩන හිමි රජ අප මෙ ගැනේ
ගින්නක් වැදී දයි මගෙ හදවත ඉතිනේ
යන්ඩත් ඉතින් ගැළවී යමුද කෙලෙසිනේ
දෙන්නෙක් ඇවිත් වැද්දෝ සබයේ සිටිනේ
(තවත් වැද්දෙක් පෙර විලසම බෙර පදයට අනුව ඉහත පද තුනම කියා ගොස් අනික් වැද්දන් සිටින තැනට යන අතර වාදකයෝ ගයති)
රන්කඳ සදිසි හිමිසඳ අසනුය මෙබස
චංචල විය මසිත සිටිනට මෙවන දෙස
පින් ඇති ඔබට යමු ගැළවී යන විලස
තුන්දෙන ඇවිත් වැද්දෝ සබයට පිවිස
(සතර වැනි වැද්දා ද පෙර පරිදිම සබයට ඇතුළු වෙයි)
නිතර මසිත දුක හිමි නිරිඳුනි අසනු
අතර මඟ ඇවිත් සිදුවුණු දෙය බලනු
සතර වරන් දෙවියෝ දැන පිහිට වෙනු
සතර දෙනෙක් වැද්දෝ ඇයි අර බලනු
(බිසව නැගිට සිටියි. වැද්දෙකු පෙන්වා තම සැමියාට)
සතර දෙනෙක් වැද්දන් ආවාය ස්වාමිනි අර බලන්න.
රජු : කිසි දේකට බය වෙන්න එපා. ඒවා ඔක්කෝම මම බලාගන්නම්
තානම : තාන තනෙන තන//තානා
රජු : දුකක් වැදී ළතවෙන්නෙ කිම බිස කිය මටා-විසි කෙළක් පැමිණ සිටියත් මදි මගෙ එක අතකටා මතක් වේවි වැදි සෙන් ආවොත් පෙරමුණයටා - කිසි බියක් නැතිව ගිම හැර යමු අපේ සිය පුරටා
තානම : තන තඳෙන තාන තාන තඳෙන තන තානෙනා
රජු : වැද්දන් සතර දෙනෙක් නොව සිය ගණනක් ආවත් මගේ එක අතකට මදි බව ඔයා දැනගන්න.
(තවත් වැද්දෙක් බෙර පදයට අනුව පිවිසෙයි)
බිසව :
බස් මගෙ අසන් හිමි සඳ සිත් සතුටු වෙනා
හස්තිද දිවි වලස් පිඹුරන් වට සිටිනා
යක්ෂයො විලස වැදි සෙනඟක් හඬ පානා
පස් දෙන ඇවිත් වැද්දෝ සබයේ සිටිනා
(වැද්දන් පස් දෙනාගෙන් එකෙක් වැදි දෙටුවාය. ඔහු නැඟිට සිටින අතර අනික් හතර දෙනා ගොස් පිදුරු ගෙනැවිත් ගොඩ ගසා අමු මස් ගින්නට දමා පලහන විලාසයක් පෙන්වති. රජු ද බිසව ද මේ දෙස බලා ගෙන සිටිති.)