නාට්‍යය අංක 6 ලෙංචිනා සහ පුරන්සිනා
 


(මෙහිදී ලෙන්චිනා පමණක් නොව ඇගේ මිතුරිය වූ ජසයාගේ සොර බිරිඳ වූ පුරන්සිනා ද යන දෙදෙනාම සබාවට ආහ. චීත්තයක් හැඳ හැට්ටයෙන් සැරසී සිටින මෙම තරුණියන් දෙදෙනා ඉඟි බිඟි පාමින් සබයේ වටයක් යති. ජසයා පසෙකට වාඩි වී තම බිරින්දන් දෙදෙනා එන මඟ දෙස බලා සබයට ඉඟි කරමින් සිටි තැනින් නැඟිට ඔවුන්ගේ ළඟට යමින් ඇඟේ හැපෙන්නට මෙන් තැත් දරයි. බිමද වැටෙයි.)


පුරන්සිනා : හානේ නිකා ඉන්නකෝ ඔයි විදියට පනින්නයි හැපෙන්නයි ගියාම ඔයාගේ අර අණ්ඩ වාතේ වැඩි වේවි.


ජසයා : හප්පේ උඹලා ආවේ කොහොමද?


ලෙන්චිනා : කකුල් දෙකෙන්.


(පුරන්සිනා සහ ලෙන්චිනා දෙදෙනාම කතාවට වැටෙන කල තොරතුරු කතාකාරයා ඉදිරියට එයි.)


අප්පුහාමි : ජසයා මෙහාට වර. මේ ගැහැණු දෙන්නෙක් මේ සභාවට ගෙනැල්ල මොකද්ද බොල මේ කතාව?
ජසයා : ආ සුදිය සුදිය. මේ තමයි පුරන්සිනා. නියම ගෑනී මේ තමයි ලෙන්චිනා. ඒ හොර ගෑනී.


අප්පුහාමි : මේකිගේ අම්මලා තාත්තලා එහෙම ඉන්නවද?
ජසයා : අම්මලා තාත්තලාගෙන් අහල තමයි ගෙනාවේ.
අප්පුහාමි : ඒක නෙවෙයි මේ ගොල්ලෝ නැටුම් ගැයුම් එහෙම දන්නවද?
ජසයා : ඒ සේරම දේවල් දන්නව. ඇනුම් පිනුම් ගැයුම් සේරම. ආව දවසේ ඉඳලම මට නිවනක් නෑ. රණ්ඩු බේරලම. ගුටිකෙළියම තමයි.


අප්පුහාමි : එහෙම නම් වැඩේ හොඳයි. අපි මේ දෙන්නට එහෙම කියල සබාව සන්තෝෂ කරන්න නැටුමක් කියමනක් එහෙම කරවලා කියවලා බලමුකෝ.


ජසයා : (පුරන්සිනාගෙන් අසයි) උඹ දෙමළ දන්නවද?
පුරන්සිනා : මොකද අනේ මම දෙමළ නොදන්නේ? අපේ ගෙදෙට්ට අල්ලපු ගෙදර දෙමළ පවුලක් හිටිය මතක නැද්ද? මම ඒ ගොල්ලන්ගෙන් නේ දෙමළ ඉගෙන ගතතෙ.


ජසයා : අරිසි කියන්නේ මොනවටද?
පුරන්සිනා : අරිසි කියන්නේ බූරුවට
ජසයා : ඔයි හොඳට දෙමළ දන්නවා.
අප්පුහාමි : ඒකනම් පේනවා හොඳට දන්නවා.


ජසයා : නාකින්නූරු කොඤ්ඤං තාරු ඌලග්ග පෙරිය ආප්ප සින්න කුඩුක්කරදු.
පුරන්සිනා : ඒ කියන්නේ නාකි මිනිහෙක් කලුවරේ ඉටි පන්දමක් පත්තු කර ගෙන ආප්ප කන්න ගිහිල්ල කල්දේරමක වැටිල මැරුණලු.
අපපුහාමි : මොකුත් නැහැ. හොඳට දන්නව. මේකිත් දෙමළ දන්නවද?
ලෙන්චිනා : මොකද මම දෙමළ නොදන්නේ?


(වාදකයෝ තානම අල්ලති. ලෙන්චිනා වටේ යමින් නටමින් කවි ගායනා කරයි.)

මම වගේ පේඩි කතෙක් මනා - දුටුවාද ලොවේ රුසිරෙන් දිනා
මව්පියෝ නිදහස් වෙන්නටා - මාව දුන්නයි නාකි වු හමෙකුටා
උන්දලාට කඹුරන්නටා මම - යැද ඉන්නේ සුරන් හට දොස් කොටා
වකුටු කුදේ නොන්ඩිය තියා - එති කෙතට බැඳපු ලෙස එපඹයා
රුවට කොරල හැඩි තලගොයා - හට මාව සරණ දීල මව්පියො ගියා
මගෙ හිමියා පඹයට තියා - හොර හිමි ගෙන්වා ගන්නා මෙමම්
හානි වුනත් මට නම් නැතේ - මගෙ දොස තැනින් තැන පවසතේ
නාකි වුනත් මගෙ කම් නැතේ - මගෙ සුන්දර හිමි දැක්මට සිතේ
සාර ලෙසට මහනා මැහුම් - තව බීරලු ගොතනා පටිවලින්
නෑර ලියන් හට ඕනෑනම් - මම සුර ලෙසට දෙමි සිත ලෙසින්
ඇට දෙපටක් දෙනවයි කියා - මාව රවටාල ගියෙ අර තරුණයා
නිවසට විත් අර තරුණයා - රෙදි ගන්ට ඇවිත් කළ කවටයා
අන්න ගෙදර ඇත කෝට් සරොන් - එහෙ එන්ඩ ඕනෙ ඉරිදා උදෙන්
මෙන්න මගේ වැරදි නොගන් - මෙම සබේ සැවොම මට ආයුබෝවන්


(ජසයා මෙ වන විට අතේ තිබුණු සැරයටියද ගෙන ලෙන්චිනා ළඟට කිට්ටු වේ. ලෙන්චිනා එකවරම අඬාගෙන වැටී හිස ජසයාගේ කරපිට තබා) යන්කො අපි ගෙදර යන්න කොලුවත් මැරුණා. (අඬන්ට හා ඉකි ගසන්ට පටන් ගනී.)

ජසයා : මොකෝ මගේ කොලුව මළෝ. අපි නැතෝ. ඇයි බොල බේතක් හේතක් කළේ නැද්දෝ.
ලෙන්චිනා : මම දරුවා එක්ක ගියා වාද්දුවට
ජසයා : හරි හරි සාත්තුවට. සාත්තුවට ගිය හින්ද තමයි කොල්ල නැති වුණේ.
ලෙන්චිනා : (අඬන අතරම) සාත්තුවට නෙවෙයි බාන්. වාද්දුවට. වාද්දුවේ වෙද ගෙදර. ඉතින් වෙද මහත්තය හිටියෙ නෑ. වෙද මහත්තයයි පුතා හිටිය එයා තමා මන් බැලුවේ.

ජසයා : මොකද්ද බොල තොටද ලෙඩ තිබුණේ කොලුවටද? තෝ බැලුවෙ මොකටද?

ලෙන්චිනා : ලොකු වෙද මහත්තයා එනකන් එයා බැලුව. බලල කිව්ව මම අව්වේ කැකෑරිලා කැකෑරිලා කිරි දීල තමයි මේක වෙලා තියෙන්නේ කියල. හීල් හෙවනේ ඉඳන් බේත් ටිකක් කළාම හරි යනවයි කිව්ව කියල මට නවතින්න කිව්ව බේත් කරන්න.

ජසයා : මොනවද බොල තෝ මේ දොඩවන්නේ ? තොට බේත් දුන්නද?

ලෙන්චිනා : ඔව් සූකිරි මීපැණි වැල් මී වාලප්පලම්
ජසයා : අර පලම් මේ පලම් අන්තිමේදී දෙකටම පලම්.
ලෙන්චිනා : මොනවද මේ වනචර මිනිහ කියවන්නේ?
ජසයා : හරි හරි ඉතින් සීනියි මී පැණියි
ලෙන්චිනා : සීනියි මී පැණියි මිස්සර කරන්නයි කිවුවා.
ජසයා : ඒ කියන්නේ සීනි ඉස්සර කර මී පැනි පස්සෙට කරනවා.
ලෙන්චිනා : නෙවෙයි මනුස්සයෝ මිශ්ර කරලා.
ජසයා : දැන් ඉතින් ඒවා සේරම ඉවරයි නේ උඹල අපිල දැන් මෙතනින් පිටවෙලා යන්න ඕනි.

(තිදෙනාම එක්වී නටමින් වටේ යමින් සිට සබයෙන් පිට වී යති)

මින්පසුව අවශ්ය නම් මුදලි කෝලම ආදිය සබයට ගෙන්වා තවත් ජවනිකාවක් රඟ දැක්විය හැකිව තිබුණි. එහෙත් බොහෝ රාත්‍රී කාලය ගත වී ඇති හෙයින් එදිනට නියමිත මනමේ කෝලම් කතාව රඟ දැක්වීම ආරම්භ කිරීමට ආසන්නය. ඒ අය තේ පානය කොට සැරසෙන තුරු අනෙක් නළුවෝ විකට ජවනිකාවක් රඟපෑහ. ජුගුප්සාවෙන් තොරව නැරඹිය හැකි මෙම විහිලු ජවනිකා ඉතා ප්‍රාණවත් අන්දමින් ඉදිරිපත් කළ බව පැහැදිලිය. ඇහැලියගොඩ මහ වලව්වේ හාමුලා සහ ආයා අප්පුලා මුල් කර ගෙන සිදුවන කථා පුවතක් මෙහි ඉදිරිපත් වෙයි. එම කථා පුවත ඉදිරිපත් වුණු ආකාරය මෙහි සැකෙවින් දක්වාලමි.


(මුලදී රංගාරම්භයේදී ආ සභාපතිවරුන්ගේ ඇඳුමට සමාන ලෙස ඇඳුම් ඇඳ ගත් කථකයා සභාවට පැමිණ කතාව හඳුන්වා දෙයි. ඔහුගේ අතේ අඩි දෙක හමාරක පමණ බස්තමක් ඇත. එය දෙකෙළවරින් අල්ලා ගෙන දෙපැත්තට පාදය උස් පහත් කරවමින් ගීතය ගායනා කරයි.)


ලලලල ලලල ලලා///ලලාල බිලිලේ///
ලල-ලල-ලල-ලා
රත්නපුර බලංගොඩ ඕපනායක වටාපොත කුරුවිට
පරකඩුව ගැටහැත්ත
ඇහැලියගොඩ අවිස්සාවේල්ලද පුවක්පිටිය හිඟුරුවල
කොස්ගම පින්නවල මීගොඩ හෝමාගම තලවිල
මාලපල්ල
කොට්ටාව පන්නිපිටිය සුන්දර මහරගම
මෙකිව්ව ගම්වලින්-ආයල අපපුලා කොළඹට ඇවිදිල්ලා
ලොලාල බිලිලේ-ලල ලලල ලා///
හේමපාල සුමනපාල සුගතපාල සුමතිපාල
මෙකියන නම්වලින් ආයල අප්පුල කොළඹ ඇවිදිල්ලා
ලොලාල බිලිලේ/// ලල ලල ලලල ලා-///
රත්නපුර බලන්ගොඩ ඕපනායක///

(ඔහු පිටත්ව යයි. පිජාමා කලිසමක් හා කමිසයක් ඇඳගත් චරිතයක් සභාවට එයි)

ඇහැලියගොඩ මහවලව්වේ පුංචි හාමු මං අම්මප ලොකු හාමු මං. අම්මප පුංචි හාමු මං. ලස්සගණන් වස්තු තිබිල මොකද මං කළේ. පිනට දුන්නදෝ? නැහැ. ඉනට ඇන්දදෝ නැහැ. බඩට කෑවදෝ නැහැ. උසාවියට කොල්ලුපිටියෙ තැබෑරුමට රේස් පිටියෙ සූදුපොලට දන් දුන්නා මං- ඇහැලියගොඩ මහ වළව්වෙ //

(c) Shilpa Sayura Foundation 2006-2017