නාට්‍යය අංක 3 - වක්කඩපල විදානේ කෝලම
 

(පොලිස් කෝලමට පසුව සබයට එන්නේ වක්කඩපල විදානෙය. මෙම භූමිකාව අම්බලන්ගොඩ සහ මිරිස්සේ කෝලම් කුටිටම්වල දක්නට නැත. ඔහු පසුව රංග භූමියට තම බිරිඳ ද කැඳවයි. සරමක් සහ කෝට් එකක් ඇඳ රෙදි පටියක් ඉඟ බැඳ ගෙන සිටියි. දිග රැවුලක් සහිත වෙස් මුහුණක් ඇඳ අතේ බස්තම ද සහිතව එන විදානේ නටමින් කරළිය වටේ යයි. සබේ විදානේ ඔහුට ළංව වටා කැරකෙයි.)


වක්කඩපල විදානේ ඔහුට අමතන්නේ ඉඤ්ජ ඉඤ්ජ කියාය.
සබේ විදානේ ඔහුට ළංවී 'සීයේ සීයේ' ආමන්ත්රණය කරයි.

විදානේ : ආ බොල මොකක්ද බොල සීයෙ. කෙහෙල්මල ආබලපියකෝ මේ ජෙහෙට්ටි කොල්ලන්ගේ ආඩම්බර. සීයෙ නෙවෙයි බොල දෙසීයයි. මම බොල විදානෙ මහත්තය.


සබේ විදානේ : ආ හරි මට අඳුරන්න බැරුව ගියානෙ මේ විදානේ මහත්තය.


විදානේ : අන්න හරි බොල මිනිස්සුන්ට කතා කරන හැටි ඉස්සෙල්ලා දැනගනු. නැගපිය පුතේ මගේ කරට. අනේ පුතේ මේ පැත්තෙන් නැගපිය (කර පහත් කරයි)


සබේ විදානේ : එච්චරටම සන්තෝෂයි.
විදානේ : කමක් නැහැ පුතේ. අනේ අම්මේ මට හරි සන්තෝෂයි.


සබේ විදානේ : ඒක නෙවෙයි මොකද මේ අමුතු විදිහකින් ඇඳන් පැළඳන්. සරම් දෙකක් ඇඳලා. හොඳ ඉණ පටියක් බැඳලා.


විදානේ : පුතා දන්නේ නැද්ද? මම මේ ළඟදී පොඩි කටයුත්තක් කර ගත්තා නේ. ඇයි පුතාට ආරංචි නැද්ද?


සබේ විදානේ : මොකද්ද?


විදානේ : ඇත්තෙන්ම පුතා දන්නේ නැද්ද?


සබේ විදානේ : නැහැ නැහැ. මට නම් හෝඩුවාවක්වත් නැහැ.


විදානේ : මේ ළඟදී අම්මේ ඒක මරු වැඩේනේ? මම හිතුව පුතා දන්නව ඇති කියලා.


සබේ විදානේ : නැහැ ඉතින් මනමාල මහත්තය ගැන පුරාතනේ ඉඳලා අහල කියල තියෙනව. දන්නව. නමුත් අලුත කර ගත්තු 
වැඩේ ගැන නම් ආරංචියක් වුණේ නැහැ.


විදානේ : ඒ නිකම් හදිස්සියේ කර ගත්තේ. ඒක හින්ද කාටවත් කියන්නවත් වෙලාවක් හම්බ වුණේ නැහැ. පුතාල දන්නව නෙ මගේ වැඩවල හැටි.


සබේ විදානේ : කොහෙන්ද ඔය දීගෙ කරගත්තේ.


විදානේ : මේ කඩිත්තෙන්.


සබේ විදානේ : මනමාල මහත්තය මේ වක්කඩපල නේ?


විදානේ : ඉතින් හරියටම ගැළපෙනව නේ වක්කඩ කැඩුනහම කඩිත්ත තමයි.


සබේ විදානේ : ඉතින් අපි තවම දැක්කේ නැහැනේ. මනමාලි අපිට පෙන්නන්න ඕන.


විදානේ : අනේ පුතේ මනමාලි ගේන්නම ඕනෑද?


සබේ විදානේ : එහෙමත් අහනව මේ මනමාලි බලා කියාගන්න තමයි මේ මුළු මහා සභාවම රැස් වෙලා ඉන්නේ.


විදානේ : ඒකත් එහෙමද? එහෙනම් මේ සේරම ලයිට් නිවන්න ඕන


සබේ විදානේ : ඒ මොකද්ද?


විදානේ : ඒ තරම්ම එළියයි. දැන් ගෙදෙට්ට ගෙනාපු දවසේ ඉඳලම මම ගෙදෙට්ට භූමිතෙල් ගෙනාවේ නැහැ. එක අතකින් පුතේ මේ දීගේ කර ගත්තු එක හොඳට ගියා. නැතිනම් දැන් ඊයෙ ද කොහෙද ඉඳලා භූමිතෙලුත් මිළ නැග්ග නේ. මට නම් කිසිම අමාරුවක් නැහැ. මොකද එයා ගෙනා දවසේ ඉඳලා ලාම්පු පත්තු කරන්නේ නෑ අපේ ගෙදර.


සබේ විදානේ : අපි බලා ඉඳලා සන්තෝෂ වුනාම ලයිට් නිවන්නම්.


විදානේ : ඒ කිවුවේ මම කිවෛව විදිහට එළිය තියෙනව නම්. (වක්කඩපල විදානේ වෙස් අත්ත ළඟට ගොස් මඬුව දෙස බලමින් "කිරිහාමිලගෙ අම්මේ" කියමින් කෑ ගසයි. තවත් සැරයක් කතා කරයි. ඊළඟ වතාවේ ඊටත් වඩා හයියෙන් අමතයි.)

(මඬුව දෙසින්) : මොකද අනේ මට කතා කරන්නේ?.
විදානේ : (සබේ විදානෙට) පුතාට ඇහුනද ඒ මිහිරි නාදේ?
(මඬුව දෙසට) - මෙහෙ වරෙල්ලකෝ.


(මඬුව තුළින්): කෝ මගේ හාරිච්චිය.


විදානේ : හාරිච්චියද? ඒක මං ගහේ බැන්ඳා
(මඬුව තුළින්) : ඇට දෙපොට කෝ?


විදානේ : ඇට දෙපොටද? ඒක ලුනු පොල් කට්ටේ ඇති.
(මඬුව තුළින්): වළලු දෙක කෝ?
විදානේ : වළලු දෙක ද? අන්න අරූ පොල් ගහට නඟින්නයි කියලා අරන් ගියා.


සබේ විදානේ : ඕව කවදාවත් මනමාල මහත්තයෝ හොරුගන්න බඩු නොවෙයි නෙ.


විදානේ : මෙහෙ වරෙල්ලකෝ බුදු අම්මේ.


(ස්ත්රී විලාසයෙන් සැරසී ඉතා තද දුඹුරු පාටැති වෙස් මුහුණක් පැළඳ ගත් ඇය සබයට පැමිණයි.)


සබේ විදානේ : මනමාල මහත්තයා ලයිට් නිව්ව නම් මරු එකට හිටීවී. ඔයි හොඳට තියෙන්නේ. එළිය ටික කලුවර පෝය දවසේ වගේ.


විදානේ : ඇයි පුතේ ලස්සන නැද්ද?


සබේ විදානේ : ලස්සනයි.


මනමාලි : මන් වැඩක් කර කර ඉඳලයි ආවේ. මට යන්න ඕන.


විදානේ : යනවා නම් මට තොත්තුවක් දීලා යන්න. (දෙදෙනා මුහුණු සිප ගනිති. මනමාලිය පිටත්ව වෙස් අත්තෙන් ඇතුළට යයි.)


සබේ විදානේ : දැන් ඉතින් අපි කැමතියි. දැනගන්න මනමාල මහත්තයා සින්දු එහෙම දන්නවද කියල. එහෙම දන්නව නම් එකක් දෙකක් කියලා නටල යන එක හොඳයි.


(විදානේ සින්දුවක් කියා සබයෙන් පිටත් වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017