මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පුරාණ පොතකින් ලේඛිතයි
ක්‍රීඩා භූමිය මධ්යයෙහි කුඩා පොල්අතු මඩුවක් තනා ඇත. එහි දොරටුවෙහි ගෝනි පිටක් එල්ලා ඇත. ඒ දොරටුවට කෙළින් අඩි හතරකින් පමණ ඉදිරියෙහි වෙස් අත්ත තනා තිබේ. වෙස් අත්ත අඩි පහ හමාරකට ආසන්න ප්රමාණයක් උසය. පළලින් අඩි හයක් පමණ වෙයි. වෙස් අත්තේ කෙළවර දෙකට අඩි දහයක් පමණ උස ගොරක අතු දෙකක් සිටුවා ඇත. ගොරක අත්ත දෙපැත්තෙහි හරස් අතට සවිමත් ලෙස ලී පටි තබා බඳිනු ලැබේ.
මේ ලී පටි අතර ඇති හිඩැස්ස තුළට පුවක් අතු ඇතුළු තවත් අතු ජාති බස්සවති. අවශ්ය වූ අවස්ථාවක නළුවන්ට මෙම හරස් පටිවලට අඩි තියා මුදුනට ද නැඟිය හැකිය. මේ වෙස් අත්ත තනා ඇත්තේ නළුවන්ට වෙස් පෑමට සබාවට එන්නට ප්රථම මඳ වේලාවක් රැඳී සිටීමටය. සමහර විටෙක වෙස් අත්ත දෙපසින් ඉදිරියට වෘත්තාකාරව රංග භූමිය ආරම්භ වෙයි. රංග භූමිය ප්රේක්ෂකයින්ගෙන් වෙන් කර ඇත්තේ අඩියක් පමණ උස කෝටු කැබලි සිටුවා ඇති තැන්වල අඩි දෙකක් පමණ උස සිටින සේ කපා ගත් කෙසෙල් කෝට තබා ඇත. ඒ කෙසෙල් කොට මත පහන් තිබේ. මේ පෝල් තෙල් පහන් දල්වනු ලබන්නෝ සන්දර්ශනයට විශේෂයෙන් ආරාධිත අමුත්තෝය.
රංග භූමිය වටේට බිම පොල් අතු ඉරු එළා ඇත. ඒ ප්රේක්ෂකයින්ට වාඩි වීමටය. වෙස් අත්තට වම් අත පැත්තෙන් මල් යහනකි. ඒ යහන මැද බිම පොල් මලකි. මල් යහනෙහි මල් ද මැටි පහන් ද ඇත. ඒ අසලින් බිම පැදුරක් එලා තිබේ. ඒ බෙර වාදකයින්ට වාඩිවීම සඳහාය. පොතේ කවි කියා නළුවන් සභාවට හඳුන්වා දෙන්නෝ මේ බෙර වාදකයෝය. ඔවුහු නළුවන්ට තාලය සඳහා තානමද ගායනා කරති. සමහරවිට සුච්ය කොටස් ද ප්රේක්ෂකයාට කවියෙන් කියා දෙන්නාහු බෙර වාදකයෝය.
කෝලම් කුට්ටමක අයිති එක් නළුවෙක් පොල්අතු මඩුවෙන් පිටවෙයි. ඔහු සිටි පොල් අතු මඬුව ඇතුළත වහලෙහි දිග අතට හරස් අතට අදින ලද ලනුවල විවිධ කෝලම් මුහුණු එල්ලා ඇත. එම මඬුවෙහි බිම එලන ලද පැඳුර3 මත වාඩි වී සිටින නළුවෝ වේශ නිරූපණයෙහි යෙදෙති. මඬුවෙන් පිට වූ නළුවා මල් යහන වෙත ගොස් පහන් දල්වා ශ්රී විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ, මහ ගම්භාර, සූනියම් දේවතාවුන් වහන්සේලාට පින් දී පන්සිල් සමාදන් වීම නිම කරයි.
එම මල් යහන ඉදිරිපිටට පැමිණෙන බෙර වාදකයෝ දෙදෙනා බෙර ඉඟ බැඳ ගෙන යහනට මුහුණ දී සිටගෙන මංගල හේරි වාදනය ආරම්භ කරති. අනතුරුව එතැනින් ඉවත්ව ගොස් යහන අසල එලන ලද පැඳුරෙහි මුහුණට මුහුණ ලා වාඩි වී තමන් ඉදිරියෙහි බෙර තබා ගන්නා වාදකයෝ ත්රිවිධ රත්නයට නමස්කාර කිරීම සඳහා සංස්කෘත ශ්ලෝක ගායනා කරති.