සේ පිරියත් මහ කවි දැන ගෙන යෙහෙන
සේ සිය පත් කොඳ සඳ යස රස සොබන
පෑ දියකොත් බඳවා දියතෙහි නිතින
ඒ සිරිමත් යති හිමි බබළයි නඳන
පසිඳු රුසිරු සරසවි ලිය රැඳි නිතොර
කිවිඳු සවන් බිගු වැළ තුටු කළ නොහැර
පුබුදු සොඳුරු ඔහු මුව තඹරට පවර
සිනිඳු සුවඳ මුවරඳ විය සඳ ලකර
තිවට කසුබු ඉසි සුරගුරු මෙන් සුබඳ
ලොවට කලණ ඒ යති සඳුගේ නොමඳ
සුමට වදන් දුල විසිතුරු මහ මුහුද
දසට පොරණ රළ පතරින් පිරි නිබඳ
අවට ඉඳින පඬිවරුනටද අඩදැණි
සිතට සතුටු වන සොද පදරුත් සරණි
රුවට කියන පෙර ඇදුරන් ලෙස පැමිණි
ඔහුට දස'ට විදු තැන් විය සිය පවෙණි
නොසී කරන මිසදුටුවන් බස් අබඳ
නිසි නැණැති සිරි පැරකුම් රජුට නඳ
රසි ගැඹුරු තෙපලත් සැක සිත පසිඳ
දෙසි සුවා'සු දහසක් දහම් කඳ
එහිමි කෙලෙස් ගිරි මුදුනින් වැහෙන සොඳ
දහම් අහස් ගඟ දුල දිය දහර වැද
නොමඳ සතොස් අම ඔදසින් පිරි නිබඳ
බැබළි වෙසෙස් නරනිඳු සඳ කිරි මුහුද
දෙසන දහම් දන මන කර විකාසන
සොබන එයති සඳුගේ ගුණ නිවාසය
නඳන වදන් නළ'ඟන පෑ විසේසය
රඟන පවර රඟ බිම් විය සබාසය
පසැස් පසැස් කර වදහළ ලෙසම සොඳ
නිදොස් වෙසෙස් පිළිවෙත් සිරිත නොවිහිඳ
සදොස් කෙලෙස් සතුරන් ඔද මැඬ නොමඳ
අපිස් සතොස් ගුණයෙන් වැජඹෙයි නිබඳ
සිල් සෙනගනු යස සෙමෙරහු මෙන් සතහු
ගුණ බරණහු දම් කිරුළහු නැණ කගහු
බුන්න රඟහු තව තෙදණහු සරි රජහු
සුර ඇඳුරුහු හැර කවරහු වනති ඔහු
සහසැස් යුරු සොඳුරු පැරකුම් නිරිඳු ගෙන
මහ වෙල් ගොඩ පිටිය ඇතුළුව නොයෙක තැන
මහ ගම් බිම් පමුණු කොට අමුතු ලැබගෙන
බහදුරු සිරි සිරින් එහි වැජඹෙයි නිතින