පල රස බී තුරින් - තුර එහි කුසුම් රදසින්
තැවරී සැරි සැනහි - වෙහෙරට ගොසින් සතොසින්
බඳ දද ලැල් පැහැ රඳ පැතිර දස අතේ
නඳ සඳ කැල්මෙන් දිලි කෙලෙස කුළු යුතේ
කඳ සඳ කල් සුනුවම් උදුල පල බිතේ
ඉඳ මඳ කල් වහසල් කැරලි මුඳුනතේ
පහළ සිත'බ හිම හිම සෙල් මහිම හැර
වතළ අහස් ගඟ රළ වැළ පැහැ පැහැර
අඹළ කිරණ පෙණ පෙළ ලෙස නොම වැහැර
යදුළ පොහොය මළු සිරිසර බල වෙහෙර
නිතොර රඳන සඳ රස් ලෙස මුනි පුදට
නොහැර බැබළි මළු පැහැසර සතර පිට
පැතිර ඇඹර නඳ ගෙන සිටිමෙන් අවට
මිතුර උදුල මහවුර දුට වෙයි සතුට
ගුවන් කුස පැතිරි රන් කැරලි මිණි රැසේ
පවන් වැද ලෙළෙන දද මිණි කිකිණි ගොසේ
ලෙවන් සතුටු කළ හිම ගිරි කුළෙක ලෙසේ
සවන් මැදුර බල දිලිහෙන ඉඳුරු දෙසේ
නරණ සකොබ කළ සඳ නොකමසේයා
කිරණ පිඬුව දිසි අම රස ලෙසේයා
දෙරණ පසිඳු එවෙහෙරෙහි වම් දෙසේයා
කිරණ විහිදි දහගබ බල තොසේයා
විදු කිඳු වැලඳි මුදුනත රැඳි කළබ කුළු
උදු රුදු කෙලෙස ගිරි කුළු පැහැසිරි රුකුළු
මුදු දිදුලන දළු නිල් සා බර ලකුළු
සුදු රුදු කදිනු'දුල දුමිදුන් බල යහළු
පතඟ කිරණ දුරු කළ දද ගළපාය
සරඟ කවුළු බිම් බිතු දිලි පිළිපාය
නිසග බැබළි සුර පහ සිරි වෙළපාය
බලග උතුරු දිග විජයබ මහ පාය
![](/sayura/images/logo2.png)