2 වන පරිච්ඡේදය
 

වනසර දැක තම සිත බිය සලසා
ගන ගැබ ලෙළ දෙන විදුලිය විලසා
වන ගැබ ඔබිනො'ඹ පැන යන නොලසා
තැන තැන මුව රළ දැක යව සතොසා


වන විල් වැද බොල් සෙවෙලැ'ග තරවා
ගන වල් කැල ඇර ගෙන අතිනු'දුරා
දිගු උල් සිඟු යොමු කර කර අඹරා
පිළිමල් වන මීවුන් දකු නුදුරා


විල් තෙරවළ බිඳ හෙව මඩ තවරා
බොල් කර හෙළ නෙළුඹ'ල කමිනු'දුරා
බොල් කෙළ පෙණ පිඬු දෙකොළින් වගුරා
වල් වැද යන ඌරන් බල ඉඳුරා


වැද සෙද උනුනට පසු නොබසිමිනේ
බිඳ බිඳ මී අඹ කැන් ගෙන අතිනේ
ඇද ඇද තුරු වැළ ගළපන ලෙසිනේ
රොද බැඳ එන රිළවුන් බල තොසිනේ


නිති වැළ ලා ගෙන තුරු හිමියනි
එන බමරුන් දැහැ පලු පදතිනි
සිටි පිපි ලිය දැක කුල'ඟන මෙනි
සකි ලස නොව යව තොස වඩමිනි


ලොබ කොට දුන් ගිරවුන් තුඩු පබා
අසුකොට නොහැරම ඇතුළත තබා
පිටතට පෑ යුරු බිඹු වැළ සුබා
ත-නෙතට පෙනෙනුය මහ වන ගැබා


නිකසළ වැලි තල පිටුවල වෙනේ
පිලඹල සිකි කැන් ලෙස වෙන වෙනේ
රොනදොළ බිඟු මුළු රැඳි තැන තැනේ
පැහැදුළ මල් කහ තුරු වැළ පෙනේ


දිසි නිමල් වන දෙව් කලා
මිණි මෙවුල් ලෙස මන කලා
රැදි මි දෙල් මල් කැන් බලා
යව කොඩොල් මිණි සිරි සුලා


වන දෙවඟන සරණත ලා
තැන තැන වැකි ලෙස උදුලා
වන තුරු හිස රැඳි ළදලා
මන තොස කර බල එකලා

(c) Shilpa Sayura Foundation 2006-2017