සඳ රස් වතුරු ලොව පිරෙමින් බසින සඳ
තුරු හිස් අතුරු රැඳි පෙණ පෙළ ලෙස විහිද
එ දවස් උදය වන කුසුමන් දැක නොමඳ
සිත තොස් වඩා මඳ තැන් තො ගොසින් සබඳ
සමග පබළ කැල රැඳි පෙණ ලකළ
තරග විසුල නිල් සිඳු පළ පුවළ
සුළඟට ලෙළ දළු මල් තුරු වැළ වතළ
බලග උදුළ පෙර මග වන ගළ නැබළ
සිකි පිල් සත් කෙළේය ගිරි කුළේය
රොන් සක් සක'ඹළේය තුරු බෙළේය
බිඟු දැල් වමු'දුළේය තුරු රළේය
රජ සිරි අත් කෙළේය වන ගෙළේය
දිලිහෙන ගඟුලැලිය ඇද-හැලීය
ගිලිමල් රොන'වුලීය සුදු වැලීය
මදමත් හස කැලීය වන විලීය
දැක යව මන කලීය වන මලීය
අතු අතිනැ'ද ගසාය තුරු රැසාය
කෙළන පන්දු ලෙසාය සහතොසාය
පැන-ගෙන වන හිසාය මග අසාය
යන වඳුරන් නිසාය නොව ලසාය
අඹ දළු තඹ පබා සිඳ නොතබායා
ගෙන තම පිය අඹා තුඩ'ග තබායා
සිඹ සිඹ රති ලොබා දෙපිය ගබායා
උන් පරපුටු සුබා සකි නරඹායා
ඉඳුනිල් කොළ'තුරා එපැහැ'යුරායා
විලිකුන් අඹ'වුරා තුඩගිනි'රායා
එන රස උර උරා ලොබ නොහැරායා
නරඹ රඳන ගිරා පෙළ ඉඳුරායා
එන රිවි බිඹු දු ලා ගිර'ග බලායා
ගිරි නිල් මල් තුලා පිල් සසලායා
දිගු කර නිල් ගෙලා දිගු හඩලායා
රඟන මොනර බලා නොසිට පලායා
දුනුකේ පෙති ගොතා වරල ඉතායා
පිපි මල් රොන් ගතා තවර ගතායා
වියොවග යුද පතා එවන පෙතායා
එන වන සර කතා නොකර කතායා
![](/sayura/images/logo2.png)