පෙර ලක්දිව නොමඳ
රජ කළ රජුන්ගේ සොඳ
ගුණෙනි බඳ සිව්-පද
කියති සමහර මහල්ලෝ ඉඳ
පඬි නිරිඳු නැණ සක්
පෑ මුළු දෙරණ අණ සක්
දිනුවයි විරිඳු සක්
අයෙක් පවසති ඔහුගො වෙසෙසක්
සොළි පඬි ලාට රට
ගුජර තුළුවර මහ රට
තෙළිඟු වගු රට සිට
පැමිණි දන තම තමන්ගේ රට
ජය ගෙන රුපු රදුන්
තුටු කර සියල් දිලිඳුන්
විඳ සව් සිරි නඳුන්
වනත රජ කරන රඟ නිරිඳුන්
අප නිරිඳු යසසා
නොකියා ඔවුන් සහසා
පවසන බස් අසා
පවර නුවණැති දනෝ වෙසෙසා
දිනමිණි කුල' පත්
නිරිඳෝම වෙත් යහපත්
එයින'ප රජු අසව'යි කියා පවසත්
තෙදින් රිවි බිම්බා
නිරිඳු සඳ පැරකුම්බා
රුපු සිඳු කලම්බා
කෙළෙය විරු සිරි සඳ කුලම්බා
මෙ අප නර පවරා
මනු නය සිරිත් සපුරා
නොහැර සිවු සඟරා
ලොවට නිරතුරු කෙරෙයි සඟරා
