මහසෙන් විකුම් සරු - මහසෙන් නිතොර රඳනා
වෙසෙසින් සියල් යසුරින් - පිරි සක් පුරෙවි එපුරේ
පවර ඉසුරු පරසිඳු දම්මා විරිඳු
විරිඳු නිරිඳු මත ගජ කුම්බා මිහිඳු
සතන සුසිරි නය නොකලම්බා පුරුදු
වැජඹී සොඳුරු සිරි පැරකුම්බා නිරිඳු
තවද, මේ නිජ භුජ බල පරාක්රමාක්රාන්ත පර රාජචක්ර වික්රම ප්රශස්ත භු චක්ර-චක්රවර්ති ශ්රී පරාක්රමබාහු මහා රාජෝත්තමයාගේ සංග්රාම වික්රමාතික්රම ප්රතාප ප්රදාන කීර්ත්යාදි ගුණෛකදේශයක් ශ්රවණය කර
මෙරද ගුණෙන් සව් සත සිත් සැනැහැවිය
නිබඳ දෙනෙත් සිතුමිණෙකැයි ඇදැහැවිය
නොමඳ බෙලෙන් පෑ ලොව බල-දෙවි හැවිය
දුහද රඳුන් කඟ දලදරිති නැහැවිය
සතසිත රැඳි නිමල් ගුණ පසිඳු විකුමැති
සිරිකත සිරි කමල් වැනි මෙනිරිඳුගෙ නිති
මෙදියත දිව සියල් තද තෙදග නොනැවති
රුපුකත නෙතසිලිල් තෙර වැද නැවතී
මෙරද රුපුන් කරපා වැජඹි මෙ දියත
සගුණ මහල් සිවුපා සිවු බිතිනි යුත
දස රද දම් මිණි පා තදණ මැඳුරත
සතත සිතින් සතපා කෙළස සුබ සෙත
පසිඳු මොහුගෙ දළ දන් දලදර පබඳ
දිළිඳු සිතෙයි කලි මල දෙවියේ මතුද
කිවිඳු වදන් බිම බැබළුම් කර නිබඳ
සිනිඳු යසස් ලිය සුහුඹුල් කෙළ නොමඳ
සකත අයුරු පැරකුම් නිරිඳුගෙ පවර
සමත විපුල් බල සිවුරඟ සෙන් ළතර
දිගත පැමිණ කොද නොපහළ රුපු නුවර
යුගත සයුරු රළ නොපහළ තැන් කවර
සොරකම් කර රැගෙන වෙන වෙන වෙස් රුඳුරු
සුරුකම් කළ පොරණ දියබඳහු නරතුරු
පැරකුම් පැ නොයෙක එක වෙස සිට සොඳුරු
පැරකුම් රජුට සරි යැයි පවසති කවුරු
දෙසින් දෙසම දිසි යසසට මෙ නරනිඳු
අසින් අසක් වත් සරි වේ නම් තරිඳු
ඇසින් ඇස පෙනෙන ලොව සැමට එක බඳු
මසින් මසට කුමකට අඩු වෙද උළිඳු
ළඳුන් සිනිඳු කොමළත වැලදි සිහිලසේ
නඳුන් මෙහිමි සොඳ බඳ බදන ගුණ රැසේ
නුදුන් අතුරු උරගුන් දරණ කළ තොසේ
සඳුන් තුරෙක සරි යයි කියමෝද කෙසේ
සුරතුරු අයුරු අතු අත රැඳි කනාලිය
නිරතුරු සිටින රූ සිරිසර මනාලිය
පියකරු මෙරද රුසිරින් මද දිනා-ලිය
සුරගුරු හටද ඉන් නොම හැකි වනා-ලිය