ජයවද්දන දැනුමැති මැති යුත් පවර
රුපුමද්දන ගජ හය සෙන් පිරි නිතොර
නොවරද්දන සගමොක් මුනිදහම'කර
ජයවද්දන පුරවර මෙය දනු මිතුර
බඹා පළමුවෙන් ලොව පමණ නොදැනමා
අඹා තුබු සක්වල ගිරි සෙ මෙතැනමා
පබා විහිදි පවුරට නත දරණ මා
නොබා කියමි නොසරිද යන්තමක් තමා
එන සඳ පෙර මෙපුර කිරි සිඳු දුව තුටුව
සිඳුරඳ විසින් ඇය රැකවරණට කැටුව
පිරිසිඳ එවූ සිඳු කඩකෙ'වි නොව පටුව
ඇමසඳ පිරුණු දිය'ගල ලොබ වෙයි දුටුව
සුවිසල් අගල දිය තුළ පෙනෙන පැහැසර
රළ'වුල් සසල රිවි සඳ මඬල ඇම වර
තුඟුතුල් පවුරු හිස පැන යනු බැරිව හැර
රසහල් පිවිස ගමන'රඹිනු වැනි මිතුර
සඳ රිවි තමන් රහු මුව පත් වු සඳෙහි
බිඳ ගන අඳුර එළි කරනුව රෑ දෙවෙහි
බැඳ සිය කිරණ පට ගිය මෙන් පහ අගෙහි
සොඳ රන් රිදී දද බබළයි පුර වරෙහි
හය කුර ගසින් නැඟි රදසින් ගිවි අඹර
ගජ කන්තලින් එන පවනින් යුත් මෙපුර
කෙළි සන්තොසින් රැඳි සලෙළුන්හට නිතොර
සැඬකර රසින් සැඬ ගිමනින් දුක් කවර
අගිල් කපුරු දුම් කඳ පැතිර පිගිකුළු
විපුල් මෙපුර රන් දෙදෙනු'දුලු කුළු
ළකල් සුර'ඹ සිදු ලිය කෙළි සිරස කුළු
සියල් හිමව් ගිරි කුළු සිරි පැයි ලකුළු
මෙපුර පහ'ග දිලි රන් කැරලි වසමිනි
පැතිර උලැගි රොන් පට හය කුර ගසිනි
අඹර ඇඹරි දද'තිත් පිස යනු කෙවැනි
නිතොර සොඳුරු ගුරු පිරියමි කරන වැනි