දිළෙන මහඟු ඉඳුනිල් ඉඳුවරන් රඟ
සුමන සුර රජුගෙ දිගු නිල් නුවන් යුග
නිතින සව් සතන් වෙතැ පතළ එක රඟ
සරන සොඳුරු මින් යුවළෙකි කුලුණු ගඟ
ලොවසත් සතන් කොඳ නඳ කළ තරිඳු යුත
සිරිමත් සුරනිඳුගෙ නිසි සොමිගුණ නුමුත
යහපත් දෙබැම සුළකළ දෙපස ගහනත
යුගපත් ගොබින් හෙබි රඹ පෙළෙකැ සිරි ගත
දසන දිමුතු මුතු හස තරඟින් දිමුත
දසන වසන පැහැ දුළ පබළ පෙළ යුත
නදන සුර නරන් වදනම පිරි සතත
සුමන දෙවි වුවන සමුදුර විලස් ගත
සිරිසර සව් කෙළන රනොවිලි යුරු සොබන
සුරවර සවන යුග මිණි තෝඩු බබළන
තුඟුකර අඳුන් ගිරිකුළු යුග පස දිළෙන
පැහැසර ළහිරු යුවළෙක් ඇතහොත් එ මෙන
දිගුතර සුරැතැඟිලි දළු නිය කුසුම් සර
පියකර සුනිල් මිණි අබරණ රැඳි බමර
සුරනර නදන කැර සව් සිරි දෙන නිතොර
සුරතුර අතු විලස කියැලිය සුරිඳු කර
සුනිල් වසා රොද ගැවැසුණු නිල් සෙවෙල
ලකල් සුරඹ නෙත්කැන් කෙළන මින්කැල
විපුල් මෙසුරිඳුගෙ නිසි පුළුලුර මඩල
සිහිල් කුලුණඹින් පිරි විලෙකි මනකල
පැහැනද අනැඟි නවමිණි ගන රනින් කළ
ඉණසැදි වොරැදි පැහැසර නිසි පුළුලුකුල
සුරරද තුනු කලිදු ගඟ සුලකළ පුවළ
මනනඳ රුවන් වැලිතල විලස පළ කළ
තිනයන දළනයන රිවි විලස යුග කෙළ
වැජඹෙන තෙදැති මෙසුමන සුරිඳුගෙ පුවළ
උසුලන තුනු විමන ඉඳුනිල් ටැම් ලකළ
සිරිගෙන දිළෙයි පැහැසර දෙවටොර සඟළ
දිලෙන සොඳුරු පැහැසර මොනර කර රඟ
සුමන සුර රඳුගෙ පරසිඳු වූ දස දිග
නොමින රුවැති සුසිලිටි කොමළ යුග දඟ
දකින සුරඹ මනනෙත් කරවාය දඟ