සිදුහත් ගැබෙහි සිවු ඉරියවුව හැකි වන
දොළොසත් බුදු බඳින් යුතු අප දියනඳන
වැදහොත් විලස දකුණැළයෙන් පළ කරන
වඳුඔත් පිළිම හිමි හට මිතුර අදරින
අඩයටි කග පලිස් දුනු නනවි දරමින
සැඩලෙට් මරු යුදට වන් සදෙහි සරොසින
මැඬපැටි කර දිනු සුගනිදු සිරිසුලන
වැඩසිටි පිළිම හිමි වඳු පිරිසිදු සිතින
පැහැසර විදුලි රැදි මහ ගන කුළ ලෙසින
සිරිසර කිසල ගන සා මඬලින් දිළෙන
තුඟුතර දුම රදුට එවෙහෙර තුර රඳන
ම මිතුර නමඳු සග සිරි ලබනුව බැතින
එවෙහෙර සර සරන - තිසර අයුරු ගුණ රඳන
සිවු පිරිසුදු සිල් සිය සක් මෙන් රකින
සිවු බඹ වහරණින් හැම වර දවසරින
දිවුතද තෙදින් යුත් - යුග කෙළ රිවි කිරණ මෙන
පැහැපත් පුන් සදෙව් දිසි තරු පිරිවරින
පිළිවෙත් සරු සඟ ගණ සමඟ වැජඹෙන
දහම් මහ සයුර මොක් වෙරළින් හොබන
සියුම් නුවණ මෙර පහරින් අළලමින
නොහිමි මියුරු පදරුත් මිණි ලොවට දෙන
දහම් ලකර යති හිමි නමඳු අදරින
වඳිමින් මෙලැස හැමතැන් බැති සිතින් නද
පුරමින් මෙනෙහි එ වැඳුම් පල සිරි නොමඳ
වෙසෙසින් අනැගි වන් සපිරුණු නැවක් ලෙද
එතැනින් වඩුව දෙවි රජ ගෙට මිතුරු සඳ