18 වන පරිච්ඡේදය
 

ඇටඹ පතඹ මී අඹ දොඹ ගිරා අඹ
සැළඹ කොළොඹ බටදොඹ ගිවුළු මා දඹ
කරඹ කිරඹ ඇ ටරඹ නිඹ පේර දඹ
නරඹ කළබ යුත් පල ලඹ එවන ගබ


මිණි මුතු මල් පබළු යුතු සල් පිල් දොරළ
මහ විදි තුරු දද ලිය තුරු රැව් වතළ
සිඳු වර වරණ මිහිපා රද ලිය ලකළ
වන පුර වර සිරි සර නරඹ තඹසිළ


සිහිල් සොඳුරු ගංගෝ ඇළ කඳුරු පැන
ගඟුල් හැලි සෙමෙර නල විඳැ දැහැ ගිමන
විසල් ගල් තලා සිහසනෙහි හිඳිමින
විපුල් රජ සිරින් ගොස් එවන ගෙවමින


රිවිරස් මැඩැ දිසි ගනඳුරු යුත් සොබන
තුඟුගස් උඩ පැනැ පැනැ යන සාමුවන
දැකැතොස් වඩවමින් සැතැපී ඉඳැ යෙහෙන
යවකොස් ගොඩ පසු කරමින් යහදසන


අනුතත්තේ සිලිලෙව් පැහැති සුනිමල
දියමත්තේ ඇළ පැපෑ ඉපිලිපිල
එක රොත්තේ එන මින් කැල දැක තුමුල
බෙලිඅත්තේ වළ පසු කැරැ යව සැවුල


දිළෙනා මඟ දෙපසැ තුඟු තුල් ගිරි මත්ත
රඟනා මොනර ගණ විදහා පිල් සැත්ත
සපුනා තුරු පෙළැති පිපි කුසුමෙන් යුත්ත
දකිනා මැනැවි පෙරමඟැ බමුණාවත්ත


දිගුතර නිල් වරලැ ගවසා කුසුම් කඩ
දියතුර පසිඳු යුද ජය ගෙනැ කුසුම්කඩ
තුනුසර ලියන් රඳනා සුරඹ මන් මැඩ
මමිතුර බඩින් පසු කරමින් ගණේගොඩ


පවර අමර පුරසර වන් රුසිරු සර
සමර සමර දිනු වරඟන රැඳි නිතොර
පැතිර ඉතිර යන සර සිරිනි නොවිතර
පතර සපර ගමපුර වර වදු මිතුර


රඟන රුසිරු නළඟන විදු කිදු ලෙළෙන
වයන නොයෙක් තුරු ගුම් ගැඹුරු ගුම් දෙන
දිළෙන මෙපුර වර ඉඳුනිල් විමන් ගන
නිතින සතුටු කෙළෙ ගෙ මියුරු කැලක් මන


ගතිනා කනා ලිය රතදරිනි නාලිය
තෙනෙනා රනා හස ගමනින් එ නාලිය
නිතිනා දිනා එහි සරනා මනාලිය
නතනා විනා වති කවරෙක් වනාලිය

(c) Shilpa Sayura Foundation 2006-2017