නොමදින් සස් වගින් අස් වැදැ තිබෙන මනා
බසිමින් පැසුණු හැල් කෙත්වලට මන පිනා
බුදිමින් ගොදුරු බඩසා පමණ දැනැ ගෙනා
එතැනින් වඩින් සැවිලිදු සඳිනි සතොසිනා
පුල් රතුපුල් මල් යුග සවනැතැ පැළැඳ
තුල් තුඟුගල් කුළු මුදුනත නැගී ඉඳ
ඇල් ගෙවිකල් පවසන ගී අසා සොඳ
ලොල් කැරැකල් නොයවා යා ගන් සබඳ
හිරු හට මඳක් බිම හිය නොමැදි පිළෙන
තුරු යට සුපිරිසුදු සුදු වැලි තල සොබන
දුරුකොට තුනු ගිමන් සැතැපි ඉඳැ යෙහෙන
කුරුවිට ගඟැ දෙගොඩ බල සකි ගුණ නඳන
දිගු සොඬගින් ඇදැ තුඟු තුරු හෙළානේ
බිඳැ රැකමින් සිටි මත ගජ රළානේ
දැකැ සතොසින් නොගොසින් මහ වළානේ
සිරි නරඹන් කුරුවිට මූකළානේ
තමල් නිල් වරල් බිඹු වැළ රත අදර
සුපුල් නිල් උපුල් නෙත් තිසර තන බර
කොවුල් කුල් තෙපුල් සුහුඹුල් රඹ වටොර
ළකල් කල් සෙදුල් වන ගළ බල මිතුර
නිල් කටරොළු මලෙවි පිපි මල් විදහමින
නිල් ගල රඟන රඟ තුඟු තුල් ගිරි මුදුන
බැල්මට යන මෙ තොප යුග ඇස් මඳ බැවින
පිල් ඇස විදා නරඹන වැන්න සතොසින
මරකත මිණි සදිසි පැහැ යුත් ගිරා පෙළ
තුඩ රත දෙළුම් පළනෙන් බිජු රැස් වගළ
නොමපත වුවද ගන කල් එහි පිටු වතළ
පැහැපත රතිඳු ගොවි සිරි ගෙනැරැ පළ කළ
ලමග සබර කිණිහිර කිහිර මානුග
වෙලග ඩෙබර පරසොර තුවර බූනුග
පතඟ පඬෙර කළුහර අරණ රැ රඟ
සිතඟ මිතුර වගතුර මඟ දෙපසැ මඟ