මුනිඳා සිරි මුවෙන් වඳහළ එක බසින
සුරිඳා තෙකෙළ සැට සුවහස් අයු ලදින
පැහැදා පිදූ නව මිණි කිරුළෙව් තෙවුන
පබඳා රුවන් කරඬුව තුළෙහි වොරැදෙන
බඹසුර නර උරග කිරුළග මිණි රසින
හැමවර පුදන සිරි පා තඹරින් සොබන
මුනිවර පදතඹර සුලකළ තරිඳු මෙන
මමිතුර නමදු දළ දා හිමි හට බැතින
පසිඳු උතුම් ලකුණෙන් කළ මුනි රුව ද
මුනිඳු දා නදන් කැරැ කළ දා ගබ ද
විහිදු ගන කුළක් බඳු රුදු දුම රදු ද
නමදු මිතුර බැතියෙන් තුන් සිත පැහැද
සුගතිඳු සසුනඹර - සිසිකර ලෙසින් තෙවිනා
සෙමෙර කිරළ විලසින් වල් බිජු රකිනා
නිතර සපිරි සිවු පිරිසිදු සිල් රකිනා
තෙවළා දම් සයුරැ - නැණ නැවින් තෙරැ පැමිණි
කවි නළු සඳ ලකර පිරිසිඳැ දැනැ නැණින
කවි කැල ගල සැදු පිරිසුදු යස හරින
අවිදු අඳුර දුරු කළ සිරිනි දින කර
සිනිඳු මදුර පිය තෙපුලැති අමා යුර
මිහිඳු ලකර තෙර හිමි සිරි පා තඹර
නමදු මිතුර බැති පෙම් සිත දියුණු කැර
මනරම් සුරඹ සමඟින් සුර රද සුමන
ගඳදුම් මල් පහන් පුද කැරැ නිති වඳින
නරදම් සැරි සිරිපද ලසිනි වොරැදෙන
විහිගුම් සමන් ගිර බල පෙර දෙසැ පෙනෙන
මලවල කොකුම් ලිය වෙතිනෙන සුවද රොන
සුනිමල අහස් ගඟැ රළැ සිකර ද ගෙන
හිමවල වැදැ සඳුන් පලු තන වා හමන
මදනල පහය විඳ යා ගන් යහදසන
රසග මී අඹ පානය කැරැ වෙළෙප් මතු
විහග කොවුල් කැල බිඟු දෙන නද නුමුතු
පතඟ කිරණ නොපහළ තුරු සෙවන යුතු
බලග තැනින් තැනැ සැදි සොඳ උයන් වතු