පැහැසර ගහන් කෙමි ලවනත් පත් ලකර
පියකර තෙපුල් මුවරද රස යුත් පවර
මනහර මෙපුර වරැ අඟනන් වත් තඹර
හැමවර කෙළිති මත් සලෙළුන් නෙත් බමර
එහි විසිතුරු රත මිණි තොරණ රස් වැද
ගනඳුරු දුරු කරන රත වන් සුපුන් සඳ
නෙක අබිසරු සලෙළුන් හට සරන සොඳ
නව දිවයුරු යයි දැනැ වියැ සැක සඳ
තුඟු තුල් පැහැගැ ලෙළ දද මෙපුරැ සිරිමත
ඉඳුනිල් මිණි දෙරණ පිළිඹුවැ බබළත
මනකල් කලිඳු ගඟතුළ කෙළනා සතන
පැහැදුල් නොයෙක් වගැ මින් සිරි පැයි දිමුත
කරදර සරණ නව දළු හස කුසුම් සර
තුඟුතර තන අමපල යුතු පතර
මනහර මෙපුර වර'ඟන රුසිරැති පවර
පුරතුර සරති රන ලිය සිරිනි හැම වර
සොඳුරු මෙ පුරවරැ පහ මුදුනත දිමුත
මහරු රුවන් කොත් මුදුන'තිනි ගිය හොත
නිසරු බවට පැමිණේ දෝ විළි වැ සිත
උතුරු දකුණු වැදැ යන වැන්නැ දිය නෙත
නුවණින් ඉඳුවරන් වත සපිරුණු ඉන්දු
කෙළිමින් සඳලුවල සිටි රුසිරැති ළන්දු
ගසමින් කොමළතින් ගෙතු කුසුමන් පන්දු
සලෙලුන් මන නුවන් තම වෙතට මැ කැන්දූ
සතර පද වලග කර රහසඟ දෙරණ
නිතර පිහිටි උත්තුගු දුළ දළ දකණ
සමර වරැ කිපෙන ලකුණෙන් යුතු කලණ
මිතුර නරඹ වේ මඟ සරනා වරණ
නරවර සුනෙර මැති කුල කුල ගිරි ලකල
පුවතර මහ සෙනඟ දියකඳ පිරි නැබළ
හැමවර පසඟ තුරු තියුනද ගොස වතළ
පුරවර කිරණ රළ වැනි දුවන හය රළ