සැරද සැවුලිඳු සඳ - රතමිණි සදිසි සිළු යුත්
දිමුතු මුතු කලඹෙව් - පළ හෙළ පියපතර සැදි
නද කඳ කුමර අත - සුලකළ පවර මමිතුරැ
අ රද සිරින් මානස නම් සරසිතෙන
සිය සඳ නිතින් ඔද වඩවා නිසි ලෙසින
පිය පතර තරමින් - නුඹ නුබ අරා එන වරැ
කිරිසිඳු'තුරෙනු'ලැති අම පිඩෙකැ යන සිතින්
සුරනල මුළු නොමැ ළගැ වු ද කුල් මතින්?
නඳුනුයනතින් ගිළි කුසුමෙකැ වෙමින් හැඟ
ළද සිදඹුවො නො පැළැඳියෝ ද උතුමඟ?
නොවැ කිසි දුකක් සකි සැප සේ අවු ද මඟ
තොප දුටු සඳ මෙ සඳ සඳ දුටු කිරණ රඟ
පුවතර මෙ මුළු සක්වල ගබ මැදුරු 'තුරු
පබසර මිණි මිතුරු මෙන් දුරලන අඳුරු
දිනකර කවර වර එන යන බව කි බොරු
මෙවිතර පමණ යැයි දැනැ පවසති කවුරු?
සකහරවෙන් පවා දිව තද තෙද බලැති
ගෙනැ අවි නන් සෙන් සහ විරිදුන් නසති
පඳපහරින් රුපු වනසන අබිමනැති
තොප විකුමන් නත මුත් කවුරු පවසති?
මිතුරු කෙසර තෙල් මන රන පතිනි දර
මිතුරු තඹර නඳ දුන් සිරිනි දිනකර
පතුරු වන තමා මන් දිවි දෙවෙනි කැර
මිතුරු මෙමා තෙපලන බස සවන් පුර
මිතුරු කොඳ නඳ සබඳ තොප අදහස්
ලෙසින් මේ දැන් කුම් කෙරෙමි දෝහෝ මම්!
තඹර කරේ කිරණෙ'වි දිගතැ පැතිරෙන
අඳුර ඳුරේ කළ පහ මිණි කොන් රැසින
අමර පුරේ ලෙස සවි සිරි පිරි නොමින
සපර පුරේ තෙමහල් පග තුරැ රඳන
සමන් කෙනකු වූ වූ බඹ සුර නරතුරෙන
සමන් බදුරු සිරි පද ලස නමදිමින
සමන් ගිර නිවෙස් කරැ නිරතුරු වසන
සමන් සුරිඳු දැකැ මෙ හසුන් දෙවි බැතින