සිරි කමලේ මෙන් රඳනුයෙනි නිති ලොලේ
වත විපුලේ දෙන උරඛිත බියෙනැ'ළලේ
ඉති අතුලේ අන් පද'රුත් දැරූ කලේ
හිමි අතුලේ සිරි සරි කොද පොළෝ තෙලේ
ළකල් කලුන් නරඹන නෙත් කැලුම් බර
සිලිල් නමන තුනු යටියන නැඟි පවර
සුනිල් වසා ලිය යට වට රැඳි නිතොර
විමල් සොඳුරු තෝතැන්නකි නැබ ගැඹර
දියසෙත නියුත හිමි උර බිත'තුරේ පන
නිරතුරු උතුරුවනු'තුරු කුලුණු බර'නත
උසුලන බැවින් ළෙල සිඟු වලඟින් සතන
ගතරැළි ලෙසින් තුන් විලි දිසිනේ එමන
පසිඳු සිඳුරු කර සිඳුරැයි දුරම තමා
සොඳුරු සිනිඳු රසු'දුළ දඟ යුග නො තමා
උසස පෙදෙස සිහිනැයි යන වෙසෙස තමා
මොනර කරද සරි නම් යන්තමක් තමා
සිරිකත මතිනි මුත මලිගිය මල'යුරිනි
පැහැරළ පැහැර නැඟි තුනු සිඳු මුතු ලෙසිනි
දැඩියෙන් අසුර සෙන් යස ඇලුණා සෙයිනි
තෙවුනෙය සතන සරණත නිය කැන් සරිනි
විස්මය කර දුටු සඳ නොම භරෙන ලොබා
තොස් වඩවන රූ සිරි සමුදුරෙයි පබා
ඇස් පිල් පෙළ දිටු තට නොකළ කල බඹා
ඇස් දෙකකින් නැරඹිය හැකිද ඇති සුබා
සුරනිඳු කුලුණු යදි සිඳු සඳ වැන්නේය
සිහි කළ සඳම ඇම සිරි පමුණන්නේය
සිහිනෙන් දුටෙ'වි පිරිපත දුර ලන්නේය
යස තෙද සුව නුවණ ආසිරි දෙන්නේය
සිතුමිණි සුරඹි ළඟ - නොවන කිවි කිව කෙලෙසේ
සිතයුරු අයැදි හිමි - සිරි දෙනු වනනු කුම් සේ
කුළින් කුළ තුඟු සුනෙර හිම ගිරි මුදුන
මුලින් මුල නඳුනු'යන කප්රුක් සදන
තෙරින් තෙර රඟන සුරඟඟ සුර අඟන
තැනින් තැන කියති ඉති යස ගී නදන