උපුල්වන් සුරිඳු
 

සැදූ සඳෙව් යස සිරි පිරිසිදු සුදු
මුදු කුලුණු සිලිලින් සිලිලිඳු බඳු
මිදූ ගිමන් නව මේ රදු රුදු
වඳු සුරිඳු සඳ දිය සෙත යෙදූ උදූ


සිරිලක පැවරු හැඟි පුරඳර දැරු මුදුනි
සැදි තෙද දළ උදුළ සියපත සිය සෙයිනි
එසුරිඳු පැළඳි රත් මිණි ගිහිණි කිරුළිනි
සිහරද සුනිල් සෙල'ඳුන් මත රඳන වැනි


ගතිනු'පුලේ පැහැ ගත් හිමි නළල් තෙලේ
රැඳි නිමලේ රන්පට රඳන මනකලේ
උඳු සුනිලේ ගන පැහැන'වල ගන වෙලේ
කිව විදුලේ කිම දිලියෙනුද ඇම කලේ


සුර'ඹ නෙතා මින් ඇදි බිළි පෙළව ගතා
දෙබැම ලතා සිරි දැක උලෙළ කැලුමැ'තා
සහස නෙතා සැව් සිරි නොවන විළි සිතා
පෙනෙන ඉතා කලකිනි නොදිසි ගිය අතා


අනත'යුරේ රිසි යැදි යැදි සතන් කෙරේ
ඉසුරු තරේ දෙන බැලු මතිනි නොවිතරේ
වනත තුරේ පුරනුව නෙතට එක'යුරේ
කවර වරේ මේ සිරි දිසිද ඉඳුවරේ


දිලි රන් තෝඩු රිවි යුග මඬලකි වතුල
ගිමි මුව තඹර සිරි ඇමකල් දිසි නිමල
එක රිවි දුරින් යත පුබුදින දින සියල
සියපත් නොපත් නඳ ගුණ සිය අසින'සල


අතුල කුලුණු දිය පිරි උර විල වතළ
ළකල දිමුතු මුතුවැළ නම් තරඟ වැළ
අසල සුර'ඹ නරඹන ලොල නුවන් පෙළ
එදල ඇතුළ පැයි පැන කෙළන මින් කැළ


යුගබා සොඳුරු විසිතුරු සිරි සුලබාය
සුරඹා ගෙලෙහි පලඳන මන පොලඹාය
සසොබා සිනිඳු ඉඳුවර දම් පසුබාය
නොතබා වනතහොත් අනනද කරබාය

(c) Shilpa Sayura Foundation 2006-2017