රැඳී සුලබා පල පලු මල් කැන් පොලඹා
සැදි සසොබා නඳුනු'යනැයි සැකිව සුබා
වන් සුර'ඹා වන් යන එන ලකුන් සුබා
නුඹ නරඹා යන් මග දෙපස වන ගැබා
සා මුවා'ඟන සමග වන කෙළි ලොලින
සා මුවා කර ළපලු කවමින් කමින
සා මුවා වෙමින් විටකෙ'ළි පෙනී පැන
සා මුවා බල එකල වන හිස කෙළන
මදැතුන් මද තුන් දහරින් සරතා
සියොතුන් ගන ගන සැකයෙන් සැලෙතා
දතුවන් රැවු කරතත් නොම පවතා
නොකරන් රඟ දැන නියවන නියතා
තුරු හිමියෝ ලිය ලිය වලඳමිනි
සා මුව දරු වඩමින් සා අතිනි
බිඟු සන් සුරතල් බස් මල් මුවිනි
කියමින් නළවන වැනි ලෙළවමිනි
ගඟුලැලි ලා සිලිල සලා පුලින තලා
තුරු සස ලා හමන නලා රොනින'වලා
රත් පිය ලා රති පියලා පියා නිලා
එවන බලා රිසි නොබලා ම තෝ පලා
එන වේලා දැක වේලා බුදින ලොළා
කඳුළු දුලා පිනි මනලා සුසුමුදු ළා
ළය වෙවුලා එව් සලලා ළපලු වැළා
ළුදුළු වලා නව මිදෙලා තුරුඳු දුළා
ගුවන් රුවන් කැලුමන් ගෑ මෙන් ඔපට
නුවන් වුවන් තුනු දිලි දිවමන් ලෙසට
සවන් විමන් මන් රිසි ලෙද වඳුව තුට
නිවන් එයින් තොප සිතතී සිතේ මට
එදා මුනිඳු පුද කළ නිසල නෙත් යොදා
රඳා ගියෙ වි රතු නිල් සුදු කැලුම් කඳා
විඳා දිගත පලු දල කඳු පතර සදා
සදා උදුල දුමරදු වඳු නිවන් සඳා
සතපා සයුර නද පිනිපා කැන් අයුර
සරපා සෙයින් මල්සර පා කරන දුර
රනපා කෙසර තෙල් මුනිපා දහම් දර
යතිපා තඹරවර පිනිපා කර මොනර