නුඹ සියනිති රැ ලැගුමට එතැන එති
ඉන් කුලපති සෙබඩක වෙත ලෙසේ රුති
සැක නොපැවති ගනසා තුරු වදුරු ඇති
තුඟු වනපති තුර'ගක ලගුතු යාපති
දවස පුරා දිව වහළේ'වි උදය වරා
අවරඹරා පන්වර තරඟ'තින් දරා
සරත දුරා කර නහවනුව සමුදුරා
සහස කරා කර ඇදි වැන්න තම කරා
පියයුරු අඳුරු'තුරු සළුපටිනි වසමිනි
නිසකත එසඳ එත සිය කර හකුළමිනි
පරදර වරද වරමින් වර ගුණ සිතිනි
සියකුල සිරිත රිවි මුළු ලොවට පෑ විනි
සඳා නැඟෙත බලනෙ'වි තුරු කොළ'තුරිනි
එදා නිස'ඹු තොමා තමහට සැක වෙමිනි
සදා සිතින් බොරු තතු හිමිට පාමිනි
සඳා වෙල සහල'ගුරු මැඬ හිමිට පාමිනි
කුඹුයොන් සයුරු බොන එහි මිණි සේ අනත
නුඹ කැට තෙලෙහි දිසි මෙන් තුරු පහන් වන
සඳෑ සඳුට සදමින් මග නිසා කත
ඉසි වැනි නිමල් මලිගිය මල් සිය දිමුත
අමා රසින් රිසියෙන හිමිසඳුන් සොඳ
බමා ඹදින් පත් වර නුඹ යහන් මැද
දමා සෙදින් වන සෝ ගන අඳුරු කඳ
සමාගමින් වූ නිසකත් පහන් සඳ
සසා කරින් සක්වා වෙන් කළ පවින
නිසා පිය'ඹ සහ තුරු පිරිවර ගියෙන
සසා වෙසින් දුමු රස වෙමිනි එම දින
සසා දරහු බල පල ලද උදාසන
මුළු රැ නොවිඳ උදයෙහි බසිමින් ගසිති
පියවන සඳෙහි සළු අදවති රති මතිනි
නොපනත් පතන් කළ සැවුලන් නරඹමිනි
විල්කන් සිනාගත් වැනි සියපත් වතිනි
තරව පැහැර පිය පියමන් වෙමින් නඳ
බරව රඳන පිනි පිසමින් පිලින් සෙද
තරව නොකර කර නඟමින් කෙකා නඳ
කරව මියුර රිවි දෙවිහට රැඟුම් පුද
යොදා තෙදා අලු කෙරෙමින් දස'නුදස
සදා උදා රිවි දිලිසෙන ගුවන් කුස
විදා නඳා පිය පියමන් නොවි ලස
එදා උදා සන යාගන් ගසින් බැස
![](/sayura/images/logo2.png)