මානැවියා පොකුණ - යෝනන් සිලිල් සනහා
කෙළනන් දුට ගමන් - කළ මං ගිමන් සනහා
තැවුලි නොලි රිවි අනොතත් විල ලෙසිනී
සිලිලි බලි සිලස රළ රැළි දෙමිනි
ඉපිලි ගැලී පීනන යෝනන් සෙදිනි
විදුලි දුලී ගන ගන ගැබ පෙනන වැනී
සයුරු බොමින් කුඹුයොන් දුටු සෙ මිණි පබා
පොකුණු බොනුව අපටත් සැලසි නම් බඹා
මෙදිය කෙළනවුන් ඉණ මිණිමෙවුල් සුබා
දැකුම එතැන සලෙළුවා කියති සිතු ලොබා
වත නෙත කමලු'පුල සරි වී කිව් වඳන
බොරු යයි කියති මෙ උවමි නොදැක එක තැන
දිය කෙළනවුන් දැක පොකුණේ පුල් මලින
කිවි බස සැබට නුඹටම පෙනෙනුය එතැන
නිදනා දනන් හට නිදනා මෙන් පිහිට
සදනා රුවත් නව රඳනා වැළ දිගට
සොබනා විදියෙන් වඩනා පුර ඇමට
වඩනා මැනවි මන නඳනා වැලි ගමට
අයත් නයෙන් ලද ලිය නොම දතු'වමිනි
අයත් නුවන් ඔත් කැලුමන් යොත් ලමිනි
පයත් එයින් තට කීකරු නොවනු වැනි
පයත් නයෙන් මුත් යා නොහැකි එපුරෙනි
අතින් කොමළ බැව්න'ළ තදය රන්දමා
නෙතින් බලන සිරි කොද ඉඳුවරන්දමා
ගතින් නොසරි වනුයෙන් සුර'සර'න්දමා
ඉතින් මෙලොව උවමට කියනු කින්දමා
ඔදමන් යොවුන් මද මතඟග පෙලඹුමට
සලමින් සලඹ සන් කොලහල යනෙන විට
සොබමන් තමන් දඟ සරියයි තොප කරට
අවමන් කරන වැනි ඉන් යා ගන් නොසිට
මිල දිය තුන් වටනා රජ කුලේ දුලේ
තුල දිගැතුන් උසුලන මිතලේ බලේ
ගල මද තුන් ලොබිනෙ'න මී ලොලේ අලේ
බල මදැතුන් මාතොට ඇත්හලේ නිලේ
තුල් වලා සෙද දිවෙන දිසි දියාතර
ලොල් වනා පනන මින් විදු සියාකර
නිල්වලා සිඳු පිය'ටි බිම ගියායුර
නිල්වලා ගඟින් යා කර පියාසර
අවුලේ වන් පෙනෙන - වන හිස සවස තැවුලේ
අවුලේ නොලා සිතු - යන්න උග්ගල් නමැති බැවුලේ