ගෙඋයන් සිරින් සැදි උයනෙ'වි පුරන්දර
ඉසුරින් දනන් රැඳි ගුණයෙන් නිරන්දර
අඟනන් තෙනෙන් කළ රනහසුන'සුන් දර
යවසන් තොසින් දැක ගුරුගොඩ අරන්දර
එකිනෙකිනේ මිණි නිදනේ නිදන මෙන
අද අදනේ පිය වදනේ පියවදන
ඉටු සකිනේ තුටු සකිනේ නරඹමින
දොරවකිනේ නොවළකිනේ යන ගමන
නෙත් සනහමින් බලමින් බුදුරුවන් වෙස
අන් වනතුරුම මොක් බව දුක් නොවන ලෙස
සිත් තනමින් පතමින් පින් පල වෙසෙස
අත්තනගල්ල නමදුව නමමින් සිරස
රැවු කළ මී ලොල්ලේ මී ලොල්ලේය
පුල් දොඹ නාගොල්ලේ සෙවනැල්ලේ
මඟ ආරැලි එල්ලේ සුදු වැල්ලේය
යව ඕපන් ඇල්ලේ සිතු ඇල්ලේය
ලිය ලිය ගී කියන හඬින්
මඳ මඳ විඳ එමං කඩින්
පිපී විසිතුරු යටත් බඩින්
වඩු මොනරිඳුනි වැබඩින්
කිරණ විහිදි පහකුළු තුඟු කොතින් සැදූ
නරණ ලියෙ'වි පිය ලන පිය ලියන් රැදූ
දෙරණ නුසුලන මෙන් සිව් සිරින් යෙදූ
කලණ සිරින් පිරි මඟ කැලණි පුර වදූ
කියඹු වතළ දළ කැළලො'ත ළ සේකර
පැළඳි ඔරැඳි මලිගිය මලිනි සේකර
ලියෙ'වි ලියන් කැලුම'ළු ළ පලු සේකර
නොදකු නොපටු සිතුවිලි සිත තොසේකර
රුව සැක වෙමින් සුර'ඟනයයි කළ මාන
දන සක රඳන නවයෝනන් සොබමාන
දැක දැක මෙපුර වර සිරිසර අසමාන
බස රැක මිසක් නොකියමි සුරපුර මාන
නොලැගි ලොබින් බලමින් එපුරෙහි වෙසෙස
අනගි නළඟනන් සහ රජගෙට පිවිස
කළ ගී රැගුම් පුද අනතුරු වු විගස
යසග ගී කෙකා සන් කර සබ මැදට බැස
