මවා අමා විලකුන් එම විගසේ
තෙමමින් සළු පටකින් එම විගසේ
ඉසිමින් පත්තිනි! සෙත් කළ සතොසේ
එවනේ දෙවියෝ එක් වූ මහිමා
පවනේ මල් වැසි වැස් වූ මහිමා
මිහිකත දෙස් කී වතුරක් සේමා
මදුරා පුර ගිනි නිව්වේ එහෙමා
එගිනි නිවා මදුරා පුර වැඩ සිට
දෙවෙනි දුකක් නොවදින ලෙස මෙපුරට
ගින්න නිවා සතහට පිහිටක් කොට
වඩිති පතිනි! වෙල්ලියේ අම්බලමට
සෙනෙවි රජුන් හා පඬි බිසවුන් හට
පාවා දීලා මදුරා පුර වට
එදුක් නිවා නරලොව ගලවා සිට
වැඩියයි පත්තිනි! දෙවි ලොව සැපතට
එක් සිත් කර පත්තිනි! උන් එම සඳ
සත් සත් කල්පය පැවති අණයඳ
එක් සත් වූ මගෙ නඩුව ගෙනත් සොඳ
සත් පත්තිනි නම පවසති නිවරද
උන් වාසල සිට නොම ගොස් නොමැලි
උන් මගුලැති පිට නැගෙමින් නොමැලි
රොස් කොට පිහිටා සතහට නොමැලි
ගොස් වුන්දැයි, අම්බලමේ වෙල්ලි
පුරවැස්‌සෝ නා කෙනෙකැයි තුටු කොට
එපුර කෙනෙක් දැයි? ආවේ මෙපුරට
ගොසින් පඬියගේ පුර ගිනි ලා සිට
වැඩියයි පත්තිනි! දෙව්ලොව සැපතට
ගෙනා රතය දැක සන්තොස වීගන
පමා නොවී බුදු බවම පතාගන
මෙමා දහම්, සිල් සිතින් දරාගන
ගෙනා රතය පිට වැඩියයි නොලසින
පිනට සිතේ ආසා වී
රතයට ගොස් නොපමා වී
මෙලොව මෙදුක් පිහිටා වී
තොසිත පුරට ගොස් පේවී
එක හිමි මම පැතුවෙමි
දුක් විඳ හිමි කැටුව යෙමි
එන මෙත්තේ මුනි දකිමි
මමත් පිරිමි බව ලබමී