පඬි රජුගේ වටින් පිටින්
නික්‌මෙන ගිනි සලා පිටින්
පුපුරු ඉසිරි නොමඳ තුටින්
රජ මාළිඟ දැවී වටින්
වටින් පිටින් ගිය ගිනි කඳ
දෙස් කී බියවුන්ගේ සොඳ
අත් අල්ලා පත්තිනි සඳ
ලංකොට සිප ගත්තු එසඳ
ගියා, එගිනි කඳ නපුරු
තැන තැන වාසල් නපුරු
දොර දොර වාසල් යතුරු
බිඳගෙන දුවමින් පුපුරු
ගිරා, මොණර, පරවියනුත්
කොණ්‌ඩ කුරුළු, සැළලිහිණිත්
තාරාවෝ\, හංසයනුත්
කුරුළු කොබෝ, මලිත්තනුත්
ඇත්, අස්, ගව මහීසයනුත්
මුවන්, ගෝන, බැටළුව නුත්
ඌරු, සිවල්, කුකුළුවනුත්
එවඳුරු, ඇටිකුකුළුවනුත්
පොල්, පුවකුත්, දෙළුම්, පනා
තල්, කිතුලුත්, රඹ උයනා
මල් අග පිපි දොම සපුනා
සල් ගිරි තුරු කතුරු පනා
පැතිරී නුවර එකට දවා
දුවන එගිනි කඳ තරවා
මෙහැම සියලු නොවරදවා
ඇද ලූ පිටිකර විඳවා
නොවළගමින් ලොව අල දිය
බොරු කී නොදැනුම් සේ විය
තරහලු ඉන්නා වීදිය
නොහැරම ගිනි ජල් වහි දිය
දළඳා, ගොප්, පිළිම ගෙවල්
මල් පැල්, බණ දෙසන ගෙවල්
සහගණ වැඩ ඉඳින ගෙවල්
එනුවර දේවාල ගෙවල්
පින්වත් සුදනන් ඉඳිනා
වෙළඳ, එගොවි කුල ඉඳිනා
ගොපලුන්, රඳවුන් ඉඳිනා
වීදි නොදා ගිනි දුවනා
![](/sayura/images/logo2.png)