මඟුල් ප්‍රස්තාව නාට්‍යය
 

මඟුල් ප්‍රස්ථාව ඇන්රන් චෙකෝෆ් විසින් රචිත ....නාට්‍යය ඇසුරෙන් මෙරට සමාජයට ගැලපෙන පරිදි සිංහල නම් ගම් යොදා යූ. ඇලෙක්ස් ගුණසේකර විසින් රචිත අනුවර්තන නාට්‍යයකි. විශ්ව විද්‍යාලයේ සිංහල සමිතිය විසින් 1951 පෙබරවාරි මස 2 දින ජෝජ් රාජශාලාවේදී ප්‍රථම වරට වේදිකාවට ගෙන එන ලද මෙය ඒකාංගික නාට්‍යයක් වේ. 
 
නාට්‍යය ඇරැඹෙනුයේ තෙපානිස්ගේ නිවසට ලව්නේරිස් පැමිණීමෙනි. එහෙයින් නාට්‍යයට පසුබිම වනුයේ තෙපානිස්ගේ නිවසේ ආලින්දයයි. ටුවිඩ් කබායක් හා රෙද්දක් හැඳ සපත්තු, ටයි, මුදු ආදිය පැළඳ කුඩයක් ද අතින් ගත් ලව්නේරිස් පැමිණෙන විට තෙපානිස් සිය නිවසේ ආලින්දයේ සිටියේ පත්තරයක් කියවමිනි.
 
හොඳට හුරු පුරුදු අසල් වැසියෙකු වුලව්නේරිස්ට එකපාරටම තෙපානිස්ව හඳුනා ගැනීමට බැරි විය. එසේ වනුයේ ඔහු මනමාලයකු ලෙස සැරසී සිටි හෙයිනි. එහෙත් නොබෝ වේලාවකින් හෙතෙම තම සුපුරුදු අසල් වැසියා හඳුනා ගනී. ඔහු තම සුපුරුදු ලෙන්ගතු කමින් කතාකළා පමණක් නොව උරහිස් දෙකෙන්ද අල්ලා සොලවමින් හදිසියේ ඒමට හේතුද විමසයි.
 
තෙපානිස් : ආ ළමයා....කවුද මේ ඇත්තටම? ලව්නේරිස් නේද? ආයුබෝවන් හරි සන්තෝසයි දකින්න. (උරහිස් දෙකෙන් අල්ලා ඔහු සොලවමින්) පුතා මොකද මේ හදිස්සියේ....කොහොමද ඉතින්...?
 
අනතුරුව ආගිය තොරතුරු සැප සනීප විමසයි. මේ අයුරින් පැමිණියේ ඇයිදැයි අසයි. ප්‍රේක්ෂකයාද විමසිලිමත් වේ. තෙපානිස් හමුවීමට ආ බව පැවසුවද තමා ආ කාරණය එක එල්ලේ කීමට ලව්නේරිස් අසමත් වේ. මාපටගිල්ලෙන් බිම කනියි. උරහිස් අඹරමින් හිස පසෙකට හරවයි. කටවේලෙයි. කෙළ සිඳෙයි. වතුර ටිකක් ඉල්ලයි. වතුර වීදුරුව බොයි. 
 
මනා අවස්ථා නිරූපණයකි. ලව්නේරිස්ගේ චරිතයේ බාහිර හා අභ්‍යන්තර ස්වරූපය ප්‍රේක්ෂකයා ඉදිරියේ දිග හැරීමකි. ඔහුගේ පැමිණීම ණයට සල්ලි ඉල්ලීමට යැයි සිතන්නේ එහෙයිනි. '...මගෙන් නම් සල්ලි ගනියි...' තෙපානිස් තමාටම කියා ගනී. පුතා මොකද මේ? යැයි ආ කාරණය පිළිබඳ යළිදු අසයි.
 
යළිදු ලව්නේරිස් ගොලු වෙයි. ගොත ගසයි. එසේ වුවද සිතට දිරිගෙන දැඩි ආයාසයකින් පසු තමා ආ කාරණය කියාපායි.
 
ලව්නේරිස් : ආව කාරණේ නම් මේකයි, මම ආවේ....ඔබගේ දුහිතෘ වන නන්දාවතී චන්ද්‍රසේකර මගේ ප්‍රියම්බිකාව කරගන්න අහන්නයි.
 
ලව්නේරිස්ගේ සිතේ ස්වභාවය කියාපෑමට මෙන් නාට්‍ය පුරාම සරල කටවහරට සමීප බස් වහරක් යොදාගත් නාට්‍යකරු මෙහිලා යොදාගන්නේ දුහිතෘ, ප්‍රියම්බිකාව වැනි බර වචනයි. 
 
මෙය තෙපානිස්ට පස් වනක් ප්‍රීතියට පත්වීමට හේතු වු කරුණක් විය. මන්ද? ඇගෙන් නිදහස් වීමට ඔහු පුල පුලා බලා සිටි හෙයිනි. සතුට උතුරා ගිය ඔහුට එය වාවගත නොහැකි විය. තමා කියන්නේ කුමක්දැයි නොදැන පිස්සෙකු මෙන් දොඩවන්නට විය....මම මොනවද මේ පිස්සෙකු වගෙ දොඩවන්නේ සන්තෝසෙ වැඩි වුනාමත් මිනිස්සුන්ට පිස්සු නොවැ....දියණියගේ බරින් පීඩා විඳින පියෙකුගේ චරිතයේ ඇතුලාන්තය ගෙනහැර පෑ අයුරු අපූරුය. ඔහු සිය දියණිය අඬගහගෙන ඒමට ගෙට යයි.


මේ අතර ලව්නේරිස් දෙගිඩියාවට පත් වේ. පියා කැමති වුණාට දියණිය කැමති වේ දැයි ඔහු සිතයි. මේ අවස්ථාවේ ප්‍රේක්ෂකයා ද එම ප්‍රශ්නයේ පැටලේ. නාට්‍යයක සාර්ථකත්වයේ ස්වභාවය එයයි. තිර අදිටනින් කටයුතු කිරීමට සිත දැඩිකර ගනියි. අනතුරුව නන්දාවතීගේ සුදුසුකම් ගැන සිතයි. එයින් සෑහීමකට පත්වෙයි. සිත සැහැල්ලු කරගනියි. තමන්ගේ වයස ගැන සිතයි. කසාදයක ඇති අවශ්‍යතාවය සාධාරණීකරණය කරයි. මේ නම් මිනිස් ස්වභාවයයි. ඕනෑම අයෙකු තීරණාත්මක අවස්ථාවකදී තීරණයකට ඒමේදී තම තීරණය සාධාරණීකරණය කරන්නේ මේ අයුරිනි.


මෙස් සිත සිතා සිටියදී නන්දාවතී පැමිණේ. ඇයටද ඔහු මේ අයුරින් පැමණීම ගැටලුවකි. "...මේ බෑරක් යනවද?...මඟුල් ගෙදරකටවත්...? ඇය අසයි. ලව්නේරිස් තමා ආ කාරණය කියන්නට සැරසේ. ඊට පසුබිම සකස් කිරීම පිණිස දැනහැඳුනුම්කම්අලුත් කිරීමට ගොස් ඉඩකඩම් ගැනද කියයි. එවිටය නොසිතූවිරූ අයුරින් බලාපොරොත්තු නොවූ තැනකට නාට්‍යය පෙරලෙනුයේ. පටු එදිරිවාදිකම් මතු වනුයේ. ඉඩකඩම් ප්‍රශ්නයක් කර ගනිමින් ගෝනහේනට එකිනෙකා අයිතිවාසිකම් කියාපානුයේ. ඔවුනොවුන් ගැටේ. ප්‍රශ්නය විසඳිය නොහැකි තත්ත්වයට පත්වේ. ප්‍රේක්ෂකයාද ප්‍රශ්නය කෙසේ විසඳේදැයි අතීරණාත්මක තත්ත්වයට පත්වේ.


මේ අතර තෙපානිස් එතැනට පැමිණේ. ඔහුද ඊට පැටලේ. පටු එදිරිවාදිකම් ඉදිරියේ මහමෙරක් වැනි බරක්වූ තම දියණියගේ විවාහයද ඔහුට අමතක වේ. පවුල් දෙක අතර තිබූ සියලු විත්ති ප්‍රේක්ෂකයා ඉදිරියේ දිග හරිනුයේ, එහිදී නාට්‍ය රචකයා දෙබස් හා සංවාදවලින් උපරිම ප්‍රයෝජන ගනු ලබයි. ඒ සඳහා ව්‍යවහාර බස යොදා ගනියි. මෙවැනි නාට්‍යයකට සුදුසු බස එයයි. එමෙන්ම ගැමි පරිසරය, වටපිටාව, සිතුම් පැතුම්, චරිත ස්වභාවය එළි දක්වනු ලබයි. රචකයාගේ දෘෂ්ටියද එළි දක්වනු ලබයි. එය නාට්‍ය රසය තීව්‍ර කිරීමටත් ප්‍රේක්ෂක අවධානය දැඩිව ග්‍රහණය කිරීමටත් හේතු සාධක වේ.


නන්දාවතී : ඔල්මාදකාරයෝ!බේබද්දෝ!
තෙපානිස් : උඹේ සීයා රා කොස්සා. මතක නැද්ද උඹේ නැන්දා බාස් 
           කෙනෙක් එක්ක පැනල ගියා.
ලව්නේරිස් : තමුසෙගේ අම්මා කුදී (තුනටියට අත ගසා ගනී)
තෙපානිස් : උඹේ තාත්තා සූදු කප්පිත්තා.
නන්දාවතී : තමුසගේ නැන්දාවගෙ දෙපිට කාට්ටු ගෑණියෙක් මේ 
           පළාතෙම නෑ.

ලව්නේරිස් පිටව යයි. ඔහු පිටව ගිය පසු ඔහු ආ කාරණය අහම්බෙන් මෙන් තෙපානිස් අතින් කියැවේ. ඒ ප්‍රකාශය කණ වැකෙත්ම මෙතෙක් එදිරිවාදිකම් ප්‍රකාශ කරමින් පුපුර පුපුරා සිටි නන්දාවතී ක්ෂණිකව වෙනස් වේ. ඔහු එක්ක එන්නැයි බල කර සිටියි. නන්දාවතී සියලු අඩු ලුහුඩුකම් පසෙකලා ඕනෑම මිනිසෙකු සමඟ විවාහ වීමට පුල පුල බලා සිටින තැනැත්තියක බව ප්‍රේක්ෂකයාට ඒත්තු යන්නේ එවිටය. නාට්‍යයේ තේමාව ඉස්මතු කරන අවස්ථාවකි. තේමාව ඉස්මතු කරනුයේද නාට්‍යමය අවස්ථා ගොඩනැගෙන අයුරිනි. එමෙන්ම මෙම ගැටලුව පැන නගින්නේ තෙපානිස් ගෙදරට පැමිණි කාරණය නොදන්නා හෙයිනි. ප්‍රේක්ෂකයා ඒ බව හොඳින් දනිති. තෙපානිස්ද දනිති. මේ වන විට නන්දාවතිද දනිති. එහෙත් නන්දාවතී ඊට කැමතිදැයි තෙපානිස් තවම නොදනී. ගැටලුව තවදුරටත් ඉදිරියට ඇදෙන්නේ එහෙයිනි.

නන්දාවතිගේ ඉල්ලීම කෙතරම් ප්‍රබලවීද යත් මෙතෙක් වේලා සාප කෙරුව, පළි ගැහුව, බැන්න, දොට්ට දැම්ම තෙපානිස් යළි කැඳවනු ලබයි. ඇයටම ඒ පිළිබඳව කතා කරන්නැයි තෙපානිස් කියයි. අදාළ කරුණ කෙරේ ලව්නේරිස් යොමුකිරීමට නන්දාවතී උත්සාහ ගන්නා අතරතුර හරකෙක් මුල්කරගෙන යළිඳු අවුලක් හටගනී. ප්‍රශ්නය තිබූ තැනටම යළි පත්වේ. ප්‍රශ්නය කුමන අයුරින් විසඳේදැයි නරඹන්නාගේ සිතතුළ දෙතුන් පැත්තකට ඇදීමක් වැනි හැඟීමක් ඇති කරයි....මේ නම් නාට්‍යයක කිසියම් ක්‍රියාවක් ඇරඹී එය අවසන් වනතෙක් ඇතිවන අවුල් ජාලාව රචකයා විදහා පාන්නේ...යන්න ඇස් ඉදිරියේ සනාථ කරලීමකි.


තම තමන්ගේ හරකුන් වූ වල්ලියා හා හඳයා මුල්කර ගනිමින් යළිඳු පැන නඟින ආරවුලට මුලදී මෙන්ම මෙතනදීත් තෙපානිස්ද පැටලේ. කුල මල කියා ගනී. ඒ අතරය ලව්නේරිස්ට ක්ලාන්තය හැඳෙනුයේ. මැරිලා යැයි නන්දාවතී කියයි. හඬයි. තෙපානිස්ද බය වෙයි. වතුර පොවයි. යළිඳු සිහි එයි...ඉක්මනට කසාද බැඳ ගනින්. ඒකි කැමතියි. නන්දාවතීගේ අදහස ලව්නේරිස් දැන ගනුයේ මහ අවසාන මොහොත්දීය.

මේ සියල්ල සිදුවනුයේ එකිනෙකාගේ අදහස් එකිනෙකා නොදත් හෙයිනි. එකිනෙකාගේ අදහස් එකිනෙකා සපුරා දැන ගැනීමෙන් අනතුරුව ගැටලු නිරාකරණය වේ. හේතුඵල සබඳතාවය නොබිඳී යන අයුරින් සිද්ධි විශ්වාසනීයත්වයෙන් යුතුව ගලපනු ලබයි. ගැටලු නිරාකරණය වී සුඛාන්තයකින් කෙළවර වුවද මිනිස් සිතේ ස්වභාවය පටු ආකල්ප ඉදිරියේ මිනිස් සමාජය කටයුතු කරන ආකාරය තවදුරටත් විදහා දක්වමින් නාට්‍යය අවසන් කරන්නේ මෙසේය.

නන්දාවතී : ඒත් තවම මම කියන්නේ හඳයා වල්ලියා තරම් හොඳ නෑ 
           කියලයි.
ලව්නේරිස් : නෑ. වලිලියාට වඩා හොඳයි.
නන්දාවතී : නරකයි.
ලව්නේරිස් : ඌට වඩා හුඟාක් හොඳයි.
නන්දාවති : නරකයි. නරකයි.
තෙපානිස් : ඉතින් ඉතින් ඔහොම තමයි පවුලෙ සමඟිය පටන් ගන්න.

මෙම නාට්‍යය සම්බන්ධයෙන් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සිය කල්පනා ලේකයේ මෙවන් සටහනක් තබයි. "...මෙම නාට්‍යයේ නිරූපිත අවස්ථාව පැන නගින්නේ ලව්නේරිස් තෙපානිස් රාළහාමිගේ ගෙදරට පැමිණි කාරණය නන්දාවති නොදත් හෙයිනි.

...මැද හරියේදී නන්දාවතී ලව්නේරිස්ගේ අදහස නොදනී. ඔහුන් දෙදෙනා අතර වු කතාව වෙන අතකට යොමුවන්නේ එහෙයිනි. මේ අවස්ථාව වරක් විසඳිය නොහැකි තත්වයට පැමිණන සැටිද වරක් විසඳීමට ළංවන සැටිද නැවත එය වියවුල් වන සැටිද බලමින් සිටින ප්‍රේක්ෂකයා එය කෙසේ අවසන් වේදැයි දැනගැනීමට පුල පුලා සිටියි." කවර නාට්‍යයක වුවද පදනම විය යුත්තේ මෙවැනි අවස්ථා නිරූපණකි.

එහෙත් ශ්‍රේෂ්ඨ නාට්‍යයක කතුවරයා තමා නිර්මාණය කොට දක්වන අවස්ථාවේ මාර්ගයෙන් කිසියම් දෘෂ්ඨියක්ද ගෙන හැර පායි. යට දැක්වෙන නාට්‍යයේ කතුවරයා ගැමි ජීවිතයේ බලපාන පටු එදිරිවාදිකම් තම රචනයට විෂය කොට ගනී. ඔහු මිනිස් චරිතයේ සමහර තැන් වැඩි කොට දක්වා උපහාසයට ලක්කරයි. නන්දාවතී ඕනෑම මිනිසෙකු සමඟ විවාහ වන්නට සූදානම් ව සිටී. ලව්නේරිස් වැනි නොයෙකුත් අසාධ්‍ය රෝගවලින් පෙළෙන්නෙකු වුවද ඈයට හොඳය. ඇය ලව්නේරිස් පැමිණි කාරණය නොදන්නවා පමණී. තෙපානිස්ද කෙසේ හෝ තම දුව කවරෙකුට වුවද පාවා දී ඇගෙන් මිදෙන්නට තැත්කරන්නේ නාට්‍යයේ සන්දර්භය හැරුණු විට මිනිස් සිත දෙස කතුවරයා හෙළිකරන දෘෂ්ඨිය එහි වැදගත්ම අංගය ලෙස සැලකිය හැක්කේය.

(c) Shilpa Sayura Foundation 2006-2017