රත්තරන් නාට්‍යය
 

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ රත්තරන් නාට්‍යයට වස්තු වී ඇත්තේ නැන්දා ලේලිය හබය මුල්කරගත් ජනකතාවකි. එහිදී ජනකතාවේ එන බොහෝ කොටස් අත්හරිනු ලබයි. නාට්‍යයට උචිත කොටස් පමණක් තෝරාගෙන නාට්‍යය මාධ්‍යය තුළින් ජනකතාව යළි ප්‍රතිනිර්මාණය කරනු ලබයි. නාට්‍යයකට සුදුසු ක්‍රියාව හෙවත් ගැටුම ඇරඹෙන තැනින් පටන්ගෙන එතැන් සිට ඉදිරියට විකාශනය කරනු ලබයි. 
 

පළමුවෙන්ම ගල්ගුහාවේ ස්වභාවය කියයි. මද ඇසිල්ලකින් වැරහැලි ඇදුම උඩින් වල්කොල හැඳගත් මහළු ස්ත්‍රියක් වෙහෙසට පත්වූ විලාශයෙන් වම් පසින් ඇතුල් වෙයි....ඉතා දිග ජනකතාවක පැහැදිලි කඩඉමක් සරත්චන්ද්‍රයන් සනිටුහන් කළේ මේ අයුරිනි. අනතුරුව ඇය ලවා ඇය ගැනම ආත්මභාක්ෂණයක යොදවයි. රඟබිමේ නොදැක්වෙන එහෙත් රසවිඳීමට උපකාරිවන අන්‍යකොටස් මෙම ආත්ම භාෂණයෙන් හෙළිකරනු ලබයි. 
 
ඇය එහි වූ ඌරුමස් ද කා දමයි. රත්තරන්ද දකියි....මේ හැටි රත්තරන් තියෙන්නේ හොරුන්ගේ ගුහාවක්ද දන්නේ නෑ. යනුවෙන් සැකකරයි. වහා එතැනින් පලා යාමට සිතයි. බොහෝ ශෛලි ගත නාට්‍යවල, අර්ධශෛලිගත නාට්‍යවලද චරිත හඳුන්වා දෙනු ලබන්නේ පොතේ ගුරු වෙනුවට මැහැල්ල විසින්ම කියනු ලබන ආඛ්‍යාතයක් ඒ සඳහා යොදා ගනියි.
 
මේ අතරය රළු කටහඩකින් ගී කියමින් එන පිරිමින් හතර දෙනෙකුගේ කටහඬවල් ඇසෙන්නට සලස්වනුයේ. ඔවුන් පැමිණෙන්නේද රිද්මයානුකූලවය. ඈ සිතා සිටි අයුරු නිවැරදි වේ. ඇගේ සතුට අසතුටට පෙරළේ. කළ යුතු දෙයක් නොමැති තැන ඇය ගුහාව තුළම සැඟවේ.
 
බොහොම සතුටින් ගල් ගුහාවට ඇතුල්වන සොරුන් තමන් සොරකම් කරන ලද රත්තරන් වල අගය කියයි. තමන් කළ ක්‍රියාවන් ගැන වහසිබස් දොඩයි. මත ගැටුම් ප්‍රේක්ෂකයා ඉදිරියේ දිග හරිනු ලබයි. මේ සංවාදය තුළින් හතරවන සොරා පච්චමීරා යකඳුරුකම් දන්නා බව හඟවනු ලබයි. මෙයින් ඉදිරියේ නාට්‍යය විකාශනය සඳහා හොඳ පදනමක් දමා ගනු ලබයි. මෙවන් අවස්ථාවක් ජනකතාවේ නොමැත. මේ අයුරින් සොරුන්ගේ ස්වභාවය එළිදැක්වීම අපූරුතම නාට්‍යවෝචිත අවස්ථාවකි.
 
ඔවුන් මනෝ ලෝකවල සිටියදී ....දැන් ඉතින් කන්න මොකවත් ගනිල්ලා ඔය මදෑ නැටුවා...යන පච්චමිරාගේ ප්‍රකාශයෙන් නාට්‍යය වෙනතකට යොමු කරනු ලබයි.....ඊයේ රෑ පුළුස්සපු ඌරාගේ බාගයක් විතර ඉතුරු වුණා නේද? කෝ ඒක යන දෙවන සොරාගේ කතාවෙන් ප්‍රේක්ෂකයා ඊළඟට සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට නොඉවසිලිමත් වේ.
 
නාට්‍යයක් කිසියම් ක්‍රියාවකින් ඇරඹී එය අවසාන වනතෙක් ඇතිවන අවුල් ජාලකය ප්‍රේක්ෂකයා සිටිනුයේ. ...මැහැලිය සොරුන්ට අසුවේද? එසේ අසුවුවහොත් කුමකින් කුමක් වේද? නැතහොත් ඇයට බේරීමට හැකිවේද? යන විවිධ අනපේක්ෂිත ඉලක්කයක් වෙත ප්‍රේක්ෂකයා යොමුකරලීමට සරත්චන්ද්‍රයන් සමත්ව සිටී.
 
ජනකතාවේදී මැහැල්ල යකිනියකැයි සිතා සොරුන් පලා ගොස් යකදුරෙකු ගෙන එනු ලබයි. මැහැල්ල දිව හැපීමෙන් පසු බිය වී යකදුරාද මේ නම් යක්ෂණියක්ම යැයි කියමින් ලේ වැගිරෙන කටින් යුතුව පලා යයි. 
 
එහෙත් නාට්‍යයේදී යකදුරා වෙනුවට යොදාගන්නේ යකදුරුකම දන්නා පච්චමීරාය. නිරූපිත අවස්ථාව මගින් සොරාගේ දිව මහලු ස්ත්‍රියගේ දිව හා ගා බැලීම ක්‍රමයෙන් ත්‍රීව්‍ර කරමින් සංකීර්ණ මතයක් සොරුන් තුළ ඇති කරයි. සොරුන්ගේ මෝඩ කමින් ප්‍රයෝජන ගන්නා මහලු ස්ත්‍රිය ඔවුන්ගේ විශ්වාසයම තහවුරු කොට පච්චමීරාගේ දිව සපාකා නියම යක්ෂණියක බව සොරුන්ගේ සිතට රිංගවා සොරු පන්නා දමයි. 
 
අසරණව සිටි අවස්ථාවේ ඇය කල්පනා කළේ තමා රැකෙන පිළිවෙළ ගැනය. එහෙත් වස්තුව පහළ වී හරිගිය හැටියේම සිතනුයේ ලේලියගෙන් පලිගැනීමටය. සිතේ තැන්පත් ව තිබූ පාපතර හැඟීම් අවස්ථාව ලත් විගස මතු වන සැටි මින් පෙන්නුම් කරයි....ලේලියේ මං උඹට හොඳ පාඩමක් උගන්වන්නම්, මේ පාර. කොකාට වාරයක් ආවොත් තිත්තයාටත් වාරයක් එනවයි කියනවා සේ....එතැන් සිට ඇය ක්‍රියාකරන්නේ එම අදහස මුදුන් පත්කර ගැනීමේ චේතනාවෙනි.
 
ප්‍රේක්ෂකයා නාට්‍යයේ දෙවන ජවනිකාව වෙත අවතීර්ණ කරනුයේ දැඩි කුතුහලයකින් යුතුවය. පළමු ජවනිකාවේ දී ලේලිය තමා පිළිස්සූ බව ඇගේ වචනවලින්ම ප්‍රේක්ෂකයා ඉදිරියේ කියා පෑ අතර දෙවැනි ජවනිකාවේදී පුතා හා ලේලිය අතර වන සංවාදය තුළින් යළිත් ප්‍රේක්ෂකයාට දැන ගැනීමට සලස්වයි.
 
ජනකතාවේදී පන පිටින් ආදාහනය කළ අයට පරලොවේදී වස්තුව ලැබෙන බව නැන්දම්මා පැවසූ විට එය ඉස් මුදුනින් පිළිගන්නා ලේලිය තමාද ආදාහනය කරන්නැයි නැන්දම්මාගෙන් ඉල්ලා සිටී. නැන්දම්මා ලේලිය අලුවනතුරුම පුළුස්සා දමයි. එහෙත් නාට්‍යයේදී ලේලියට රත්තරන් අවශ්‍ය වුවද ඇය ආදාහනය වීමට කැමති නොවේ. එහෙත් ලේලියගේ දුර්වලතාවයන්ගෙන් ප්‍රයෝජන ගන්නා නැන්දම්මා ඉතා සියුම් ලෙස ඇය පරලොව යැවීමට පොළඹවා ගනී. අවසානයේදී ලේලිය කෙතරම් නැන්දම්මාගේ බසට අවනත වීද යත් "...අනේ අම්මා කච්චර කරුණාවන්තද අපේ අම්මාටත් වඩා හොඳයි..."යනුවෙන් පවසයි.
 
අවසානයේදී ලේලියට ගිනි තැබූ බව ප්‍රේක්ෂකයා හමුවේ දක්වන්නේ අපායේ දර්ශනයක් මගිනි. මෙය නාට්‍යවෝචිත නිර්මාණයකි. අපායේ බුර බුරා නඟින ගිනි දැල් තුළින් යමපල්ලන්ගේ කවි තුළින් නාට්‍යයේදී තමා අපේක්ෂා කළේ කුමක්ද යන්නද කියාපායි.
 
 "යමපල්ලො අපි ඇවිත් සිටින්නේ
 යම රජුගේ අණ නික්ම නොයන්නේ
 මළ ඇත්තන් පරලොව ගෙනයන්නේ
 පරලොව ගොස් නැත ආපසු එන්නේ
 
 කොරෝදේටයි මෙසේ පඩිසන් දෙන්නේ
 ලෝබකමයි මෙසේ ඵල ගෙන දෙන්නේ
 ඇයිද මෝඩ දන ලෝබ කරන්නේ
 කොරෝදය නිසා ඇයි වැනසෙන්නේ"
 
මෙයින් ලේලියට අත්වූ ඉරණම ධවනිත කළ පමණක් නොව තෘෂ්ණාව හා වෛරය මිනිසා විනාශ කරන බව කියැවෙන නාට්‍යයේ යටිපෙළ අදහසද විදහා දැක්වූවා වේ.
 
නාට්‍යයේ දෙබස් හා සංවාද සඳහා කටවහර හා ගැමි වහර මනාව යොදා ගනී.....යන්තරෙත් එකයි. මන්තරෙත් එකයි. වරදිනදාට තොවිල් කවි ආභාෂයෙනි. නාට්‍යයේ පාත්‍රයන්ගේ චලනයට අනුරූපව ගීතයේ ආකෘතියද වෙනස් කරනු ලැබ ඇත. සොරුන්ගේ ගීතය වන,
 කොහෙන් ගෙනා රත්තරන් - ඉර මඬලේ රත්තරන්
 ගීතය සකස් කොට ඇත්තේ.....
 තකට තකට දොන් තරිකිට - ජෙමිකිට තක තාම් තාම්....
 
යන බෙරපදයේ මූලික රිද්මය ඉවහල් කොට ගනිමිනි. යමපල්ලන්ගේ කවි සකස් කොට ඇත්තේ "...ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන් ඩෙනෝ..." යන බෙරපදයේ මූලික රිද්මය ඉවහල් කොට ගනිමිනි.

(c) Shilpa Sayura Foundation 2006-2017