නූතන දෙමළ නාට්‍ය කලාව ඇරැඹෙනුයේ 19 වන සියවසේ අගභාගයේ සිටය. මෙරට සිදුවූ සංස්කෘතික වෙනස්කම් ඊට හේතු කාරක විය. ඉන්දියාවෙන් පැමිණි පර්සි නාට්‍ය කණ්ඩායම් ආභාෂයෙන් දෙමළ නාට්‍ය කලාව පුළුල් වෙනසකට භාජන විය. හතරැස් රංග භූමිය, නූතන රංග ශිල්ප ක්‍රම, චිත්‍ර වස්ත්‍ර, රංග වස්ත්‍ර, ආලෝකකරණය, සංගීතය යන අංගයන්ගෙන් යුත් මෙම නාට්‍යය ලැබූ ජනප්‍රියතාව, දෙමළ නාට්‍ය කලාවේ නව මංපෙත් හෙළි පෙහෙළි කිරීමට සමත් විය. මේ හේතු කොටගෙන 20 වන සියවසේ මුල්කාලයේ මෙරට දෙමළ නර්තන කලාවේ යෙදී සිටි අය රූපණයට හා ගායනයට අවතීර්ණ විය.
මේ හරහා පසුව දෙමළ නාට්‍යකරුවන් රාශියක් බිහිවිය. පුත්තුවඩිඩ් සුප්පයියා, කොකුවිල් නවසිවාසන්, එස්.කේ. සෙල්ලයියා පිල්ලේ, වී.වී.වෛරමුත්තු මෙසෛ පර්සි කණ්ඩායම්වල බලපෑම් හරහා ඉදිරියට පැමිණි අය වෙති. රාමලක්ෂි සහ කාන්තිකා පරමේශ්වරී වැනි ශිලපීන් ද එසේ බිහිවූවන් අතර වේ. මෙම ශිල්පීහු එක්ව මෙන්ම ඇතැම්විට තමන්ගේ නිෂ්පාදන හරහාද දෙමළ නාට්‍යකලාව පෝෂණය කළහ. මේ තත්ත්වයන් හේතුකොට ගෙන දෙමළ නාට්‍ය කලාව සම්ප්‍රදායික ලක්ෂණ වලින් වෙනස් විය.
නූතන නාට්‍ය කලාවකට මූලික අඩිතාලම වැටුණි. බ්‍රිතාන්‍ය පාලනයේ බලපෑම මත ඇති වූ අධ්‍යාපනික හා සංස්කෘතික වෙනස්කම් නාට්‍ය කලාව කෙරේද බලපානු දැකිය හැකිය. ශේක්ස්පියර් නාට්‍ය ආකෘතිය, ප්‍රොසීනියම් වේදිකා, ස්වාභාවිකවාදි රංග නීතිය, රංග තාක්ෂණය රූපණ විධික්රමය ආදිය සම්බන්ධයෙන් පුළුල් වෙනස්කම් ඇතිකළේ බ්‍රිතාන්‍ය පාලන සමයේ පැමිණි ඉංග්‍රීසි නාට්‍ය විසිනි. මේ අතර ඉංග්‍රීසි උගත් මධ්‍යම පංතික නාට්‍ය කරණයට අවතීර්ණ වනු දැකිය හැකිය. මේ අය අතරින් චොර්ණලිංගම් දෙමළ නාට්‍ය කලාවට පුළුල් මෙහෙවරක් කළ අයෙක් වේ. එතුමා ඇතිකළ ලංකා සුබෝධ විලාස සභා නම් සංවිධානය නව නාට්‍ය පරම්පරාවක් දෙමළ ජනතාවට උරුමකර දීමට සමත්විය. මේ වන විට විශ්ව විද්‍යාලය තුළටද මෙම නාට්‍ය ප්‍රවණතාවය පැතිරෙමින් තිබුණි.
මහාචාර්ය කේ.කනපතිපිල්ලේ විශ්ව විද්‍යාල ප්‍රජාව තුළින් මධ්‍යම පංතික දෙමළ බුද්ධිමතුන් අතර නාට්‍යකලාව ප්‍රචලිත කරනු දැකිය හැකිය. මෙතුමාගේ නාට්‍ය තුළින් දෙමළ නාට්‍යය පුළුල් පරාසයක් වෙතට ගෙන ආ අතර සමකාලීන සමාජ ප්‍රශ්න එතුමා වස්තු විෂය කරගනු ලැබීය. අනතුරුව මහාචාර්ය එස්.විද්‍යානන්ද කුත්තු සම්ප්රදාය නවීකරණයට හසුකරමින් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළින් දෙමළ නාට්‍ය කලාවට පුළුල් මෙහෙවරක් කරනු දැකිය හැකිය.
මේ යුගයේ නාට්‍යකරුවන් අතර කාසිසීයස්, එම්.සුන්දරලිංගම්, සුනයිර් හමීඩ්. බාලේන්ද්‍රන්, මෞනගුරුගේ වෙසෙසින් සඳහන් කළයුතු නාට්‍යකරුවන් වේ. අසූවේ දශකයේ නාට්‍ය කරුවන් අතරදෙමළ නාට්‍යයට අද්විතීය සේවාවක් කරනු ලැබුවේ එම්.ශන්මුගලිංගම් නාට්‍යකරුවාය. "නාට්‍ය අරංකන් කල්ලුරි" නම් ආයතනය මෙතුමා විසින් පිහිටුවනු ලැබීය. එම ආයතනය හරහා බහුවිධ දායකත්වයක් දෙමළ නාට්‍යයේ වර්ධනය සඳහා ලබා දෙනු දැකිය හැකිය