මහීඩ් :-
මෙමගින් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් නිරූපණය කරයි. කිසියම් පිරිසක් එක් තැනක ස්ථාවරව ජීවත්වන අතර අනෙක් පිරිස එතැනට ඇතුල් වීමට උත්සාහ කරති. මේ අවස්ථවේ දෙපිරිස අතර ප්‍රබල ගැටුමක් ඇතිවේ. සටන නිරූපණය කරන්නේ ඉන්ද්‍රජාලික සිද්ධීන් හරහාය. අවසානයේ ආක්‍රමණික කණ්ඩායම අනෙක් කණ්ඩායම අභිබවා ජයගනී. මහීඩ් නාට්‍යය මඩකලපුවේ, යාපනයේ හා වන්නියේද දක්නට ලැබේ. සංදර්භය අතින් සොකරි නාටකයේ කතා සන්දර්භය හා ගැලපේ. නැටුම් ගැයුම් මෙන්ම සංවාද ද භාවිතා කෙරේ. ගැහැණු පිරිමි දෙපක්ෂයම රංගනයේ යෙදේ.
කාන්තවරායන් කුත්තු :-
මාරි අම්මාන් දේවතාවියට හා ඇගේ පුත්‍රයා පිළිබඳ කතාවක් වටා රංගය ගොඩනැගී ඇත. අභිචාරාත්මක රංගනයකි. යාපන ප්‍රදේශයට සුවිශේෂි වු මෙම නාට්‍යයේ රන ගායනා ක්‍රම ඊටම ආවේණික වු ගීත රටා හේතුකොට ගෙන අනෙකුත් කුත්තු වල එන ගායනා වලින් වෙනස් වේ. ආඛ්‍යාන ලක්ෂණ සහිත රංගනයක් වන මෙහි සුවිශේෂ ලක්ෂණය වනුයේ මෙහි එන පාත්‍රයා කතාව කීමේදී චරිත ප්‍රථම පුරුෂයෙන් ඉදිරිපත් කිරීමත් අවසානයේදී උත්තම පුරුෂයට අවතීර්ණ වීමත්ය. පහත් යැයි සම්මත කුලයක උපත ලද කාන්තවරායන්ගේ මව වන මුත්තු කුමාරි සහ තම මිත්‍රයා වන සින්නාත්ගේ උදව්වද ඇතිව ආරියමලෛ නම් රාජකුමාරි ලබා ගැනීමේ පුරාවෘත්තය මෙහි රඟ දැක්වේ. ගැමි රංගය සමඟ උඩැක්කිය, මෘදංග, සර්පිනාව මුල්කොට ගත් සංගීතය මීට ඇතුළත්ය.
විලාසම් :-
විලාසම් යන්න පිළිබඳව පැහැදිලි අරුතක් දිය නොහැකි වුවත් සංස්කෘත සාහිත්‍යයේ එන නාටක විශේෂය හඳුන්වන විලාස යන පදයෙන් බිඳී ආවකැයි සැලකේ. රචකයකු අතින් ලියැවුණු පිටපතක් අනුව කෙරෙන විලාස නාට්‍යය ජන නාට්‍ය වලට වඩා දියුණු ස්වරූපයක් පෙන්නුම් කරයි. අභිනය ක්‍රමද යොදා ගනිමින් කෙරෙන මෙම නාට්‍ය විශේෂය, සංගීතයටද මුල් තැනක් දෙනු ලබයි. ප්‍රසිද්ධ විලාසම් වශයෙන් එස්නාක් කියර් විලාසම්, අරිචන්ද්‍ර විලාසම් නාට්‍යය හඳුන්වා දිය හැකිය. 19 වන සියවසේ මැද භාගයේ පමණ ආරම්භ වු නාටක විශේෂයක් වන මෙය නාත්තු කුත්තු සම්ප්‍රදායේ ඉදිරි පියවරක් ලෙස සැලකේ.
කාමන් කුත්තු :-
උඩරට වතුකරයේ මෙන්ම උතුරු නැගෙනහිර සමහර ප්‍රදේශවලත් ව්‍යාප්තව පවතින සම්ප්‍රදායික නාට්‍ය විශේෂයකි. ගමේ කෝවිලේ විවාහ උත්සවයේ අංගයක් ලෙස ප්‍රචලිත මෙය මන්මඩු (අනංගයා) දෙවියන්ගේ මරණය පිළිබඳ ජනප්‍රවාදය රංගගත කිරීමකි. ශිව දෙවියන් කාම බන්ධනයට හසු කිරීමට අනංගයා ගත් වෑයම නිසා අනංගයා ශිව දෙවියන්ගේ උදහසට ලක්වේ. හෙතෙම තම තෙවන ඇසෙන් පළකළ ක්‍රෝධයෙන් අනංගයා දවා හළු කර දමයි. නාට්‍යයේ උච්චතම අවස්ථාව වන්නේ ස්වාමියාගේ අකල් වියෝවින් තැවෙන අනංගයාගේ බිරිඳ වන රතීගේ විරහලාපයයි. රතීගේ කන්නලව්ව නිසා නැවත අනංගයාට ප්‍රාණය ලැබේ. එහෙත් ඔහුට ලැබෙන්නේ ශරීරයක් නොමැති ජීවයකි. මෙයද නාට්‍යයේ සුවිශේෂි අවස්ථාවකි. මෙම සිද්ධි දෙක අපූරු ලෙස කතා වින්‍යාසයක් තුළ වර්ධනය වන අයුරු මෙම නාට්‍යය තුළින් මනාව පැහැදිලි වේ. අස්වැන්න හා සම්බන්ධ වු අභිචාරාත්මක වටිනාකමක් ද මෙහි වේ.
කතෝලික කුත්තු :-
සම්ප්‍රදායික දෙමළ නාට්‍යයක් වූ කතෝලික කුත්තු මගින් කෙරෙන්නේ ක්‍රිස්තියානි කතා රංගගත කිරීමයි. මෙම කුත්තු නාට්‍යය වඩ පංගු (උතුරු මාදිලිය) තෙන් පංගු (දකුණු මාදිලිය) වශයෙන් බෙදා දැක්වේ. ඇතැම් විට යාල් පාන පාංගු හා මාතෝඩා පාංගු නමින්ද හඳුන්වනු ලැබේ. මෙය යාපනයේ වෙසෙන ක්‍රිස්තියානි ජනයා අතර එක මාදිලියකුත් මන්නාරමේ වෙසෙන ජනයා අතර වෙන ක්‍රමයකුත් ක්‍රියාත්මක වු බවට සාධක වේ. මන්නාරම් සම්ප්‍රදායේ නර්තනයට වඩා ගායනයට මුල්තැන දෙනු ලබන අතර යාපනය සම්ප්‍රදායේ නර්තනය ප්‍රබල ලෙස යොදාගනු ලබයි. කතෝලික නාට්‍ය සම්ප්‍රදාය තුළ "වසාපු" නම් රංග මාදිලියක් ඇත. එය ගායනය මුල්කර බිහිවූවකි. එහිදී කතාව මුලින්ම ගායනා කරන අතර ප්‍රධාන සිද්ධීන් රංගගත කෙරේ. කතෝලිකාගම හා සම්බන්ධ සදාචාරාත්මක හා ආශ්චර්ය ජනක තේමාවන් මෙහිදී නිරූපණය කෙරේ. කතෝලික ගමේ වර්ධනයටද හේතු වී ඇති සම්ප්‍රදායික නාට්‍ය ක්‍රමයේදී මෘදාංග, තාලම්පට, සර්පිනාව, ඩොලැක්කිය සංගීතය සඳහා යොදාගනු ලබයි.