ලෝකයේ විවිධ නාට්‍ය සංස්කෘතීන්ගේ සම්භවයට මූලික වූයේ ඒ ඒ සංස්කෘතින්ට අනන්‍ය වූ විවිධ පූජා කර්ම අභිචාර විධින් තුළ වූ රංග ක්‍රමයන්ය. මෙය දෙමළ නාට්‍ය කලාවටද පොදු වූ ධර්මතාවක් විය. වැඩිදියුණු වූ දෙමළ ජනනාටක සම්ප්‍රදායක් ගොඩනැගෙන්නේ මෙම උත්සව හා පූජාකර්ම මතය. නාට්‍ය කලාව හැඳින්වීමට දෙමළෙන් යෙදෙන වචන "කුත්තු" හා "නාටකය" යන වචන ද්වයයි.
කුත්තු යනු නර්තනයේ වර්ධන අවස්ථාවකි. නාටකය යනු සංස්කෘත භාෂාවේ නාට්‍ය යන්නෙන් බිහිවූවකි. සම්ප්‍රදායික දෙමළ නාට්‍ය කලාවේ දැකිය හැකි විශේෂ ලක්ෂණය වනුයේ ප්‍රාදේශීය වශයෙන් දැක්වෙන වෙනස්කම්ය. ඒ නිසාම සම්ප්‍රදායික දෙමළ නාට්‍ය කලාව ව්‍යාප්තව පැවති ප්‍රදේශ මත මඩකලපුව, වන්නි, යාපනය, මන්නාරම, හලාවත, උඩරට වශයෙන් කලාපවලට බෙදා දක්වනු ලබයි. ඒ ඒ ප්‍රදේශ වලට විශේෂ වූ ජනවිශ්වාස, සිරිත් විරිත්, සංනිවේදන ක්‍රම, ගමනාගමන පහසුකම් මෙම ප්‍රාදේශීය වෙනස්කම් කෙරේ බලපෑ කරුණු අතර වේ.
අතීතයේ දෙමළ සමාජයේ ඉහළ සිට පහළ ස්ථාවරය දක්වා විහිදී ගිය නාට්‍ය ප්‍රසංග හඳුන්වනු ලැබුයේ "කුත්තු" යන නාමයෙනි. එහෙත් වර්තමානයේ කුත්තු යන පදය බහුල වශයෙන් යෙදෙන්නේ පහළ මට්ටමේ නාට්‍ය මාදිලියන් හැඳින්වීම සඳහාය. පූජාකර්ම රංගන ක්‍රමයෙන් ජනනාටක ලක්ෂණ වලට නැඹුරුවීමත් සමඟ කුත්තුව තුළ චරිත වලට ගැලපෙන රංග වස්ත්‍රාභරණ, අංග රචනා පමණක් නොව ඒ ඒ චරිත වලට ආවේනික විශේෂ නර්තන විලාශද ඇතුළත් වනු දැකිය හැකිය.
ක්‍රමයෙන් දියුණු වු කුත්තු රංගය රංග විලාශ අනුව කොටස් දෙකකට බෙදේ.
1. වඩ්මෝඩි කුත්තු
2. තෙන් මෝඩි කුත්තු වශයෙනි "වඩ්" යනු "උතුරු" යන අදහස දෙන අතර "තෙන්' යනු "දකුණු" යන අර්ථය ගෙන දෙයි.
බාහිරව ගත් කළ වේදිකා නිර්මාණය රංග වින්‍යාසය, ඇඳුම් පැළඳුම් නිර්මාණය යන මේ සියල්ල වඩ්මෝඩි සම්ප්‍රදායේ මෙන්ම තෙන් මෝඩි සම්ප්‍රදායේද එක සමානය. එහි කැපී පෙනෙන වෙනස්කම් දෙකක් නම් සංගීත නාද රටා හා නර්තන නිර්මාණයන්ගේ ඇති විවිධත්වයයි. වඩ්මෝඩි සම්ප්‍රදාය තෙන් මෝඩියට වඩා ජන සංගීතය ඇසුරු කොට වැඩුනකි. වඩ්මෝඩියට උතුරු ඉන්දීය සාහිත්‍යයේ නහාභාරතයේ එන කතා වස්තු විෂය වූ අතර තෙන්මෝඩියට වස්තු විෂය වූයේ ජනකතා හා ඉතිහාස පුවත්ය. මෙම කුත්තු වර්ග දෙකේම කාන්තා චරිත රඟදක්වන ලද්දේ පිරිමින් විසිනි. මෙම ශෛලි දෙක පදනම් කරගෙන කුත්තු වර්ග කීපයක් බිහිවිය.
1. මහීඩ් (මකීඩ්) කුත්තු
2. කාන්තවරායන් කුත්තු
3. විලාසම්....
4. කාමන් කුත්තු
5. කතෝලික කුත්තු ආදිය වේ.