මුතු පොංගල් නමින්ද හැඳින්වෙන එම උත්සවයේම කොටස්වන මෙය තෛපොංගල් දිනයට පසුදා පැවැත්වේ. මාඩු යනු ගවයාය. මෙම දිනයේදී ගොනුන්ද, එළදෙනුන්ද, වසුපැටියෝද වැදුමට පිදුමට හා ගෞරවාදරයට පාත්‍ර වෙති. මේ නම් හිරුදෙවිඳුන් පුදන උළෙලට තමාට උපකාර කරන ගවයාද එක් කිරීමෙකි. වර්ෂය පුරා තමනට සහාය වන කිරි කිරි ගිතෙල් සපයන ගවයාට කෙළෙහිගුණ දැක්වීම මින් අදහස් කෙරේ. මෙදින සිදුකරන විශේෂ කාර්යයක් වේ. හොඳින් වැඩුණු හරකකු තෝරාගෙන ඌ පවිත්‍ර කොට අලංකාර ලෙස සරසා මෙම උත්සවයට යොදාගනු ලබයි. තෛපොංගල් ගෘහාශ්‍රිතව පැවැත්වූවත් මාඩු පොංගල් පැවැත්වෙන්නේ කෝවිල් ආශ්‍රිතවය. එදින සකසනු ලබන කිරි බතින් මේ ගවයාට සංග්‍රහ කෙරේ. සවස ගවයාගේ ශක්තිය මැනීම සඳහා ගවරේස්, කරත්ත රේස් පැවැත්වේ. මෙදින "ජල්ලියක් කට්ටු" නමින් සිදුකරන ක්‍රීඩාවක් වේ. මෙය තරුණයකු විසින් ගවයා මෙල්ල කරන ආකාරය නිරූපණය කෙර්. භාරතයටම සුවිශේෂි වූ මෙය ශ්‍රී ලංකාවේ හින්දුවරුන් අතර දුර්ලභ ක්‍රීඩාවක් වේ.
හින්දු අලුත් අවුරුදු උත්සවය :-
සූර්යා මුල්කරගෙන පැවැත්වෙන මෙම උත්සවය සිංහල අලුත් අවුරුදු උත්සවයට සමගාමිව පැවැත්වේ. සිංහල අලුත් අවුරුදු උත්සවයට බොහෝ සේ සමාන වන හින්දු අලුත් අවුරුදු උත්සවයද නව හිරු උදාව සැමරීම් පිණිස පවතවනු ලබන්නකි. මෙම උත්සවය මුලුමනින්ම සකස් වී ඇත්තේ නැකත් හා චාරිත්‍ර මුල් කරගනිමිනි. එම වතාවත්වල බහුල වශයෙන් නාට්‍යමය ලක්ෂණ දැකිය හැකිය.
මහා ශිවරාත්‍රිය :-
ශිව දෙවිඳුන් වන්දනා කිරීම් වස් පවත්වනු ලබන උත්සවයකි. මෙදින රාත්‍රිය පුරාම ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ආශිර්වාද ලබා ගැනීම සිදුවන අතර ආහාර ගැනීමෙන් වැළකී උපවාසයේ යෙදීමද කරනු ලබයි. මේ අනුව මහා ශිව රාත්‍රිය එළඹෙන දින උදේ ආහාරය හා රාත්‍රී ආහාරය ගැනීමෙන් වැලකී සිටිති. දහවලට පමණක් ආහාර ගත්තද එය එළවළු මිශ්‍ර බතකට සීමා වේ. අනුභව කරන්නේද සීමිත ප්‍රමාණයකි. ආහාර ගැනීමට පෙර ශිව දෙවියන්ට සිතින් පූජා පවත්වනු ලබයි. රාත්‍රියට කෝවිල් කරා ගොස් මුලු රාත්‍රියම ආගමික කටයුතුවල යෙදීම, පුද පූජා පැවැත්වීම මහා ශිව රාත්‍රී දිනයේ විශේෂ ලක්ෂණයකි. ධර්ම සාකච්ඡා පැවැත්වීම, ශිව දෙවියනට තුති ගී ගැයීම කරනු ලබයි. මෙම උත්සවය නාට්‍ය කලාව සම්බන්ධයෙන් වැදගත් වනුයේ අනෙකුත් ආගමික චාරිත්‍ර වැනි ගී ගැයීම්, තුති ගී ගැයීම් වලට අමතරව ආගමික වැදගත් කමකින් යුත් නාට්‍යය රඟ දැක්වීමයි. මෙම කටයුතුද අවසන් වීමෙන් පසු නින්දට යෑමෙන් උත්සවය අවසන් වේ.