නාට්‍යමය අවස්ථා ගොඩනැඟීම
 

නාට්‍යකරුවෙකු කරනුයේ කතාකරුවෙකු මෙන් කතාවක් කීම නොව අවස්ථාවක් ගෙනහැර පෑමයි. නාට්‍යක නාට්‍ය රසය රඳා පවතින්නේ ශෛලියේවත් සංවාද වලවත් නොව ඒ ඒ අවස්ථාවන් මනා සේ ගලපනු ලබන නාට්‍යමය අවස්ථාවන් වලය. මෙම නාට්‍යමය අවස්ථා පිළිබඳව නහාචාර්ය සරත්චන්ද්‍රයන් මෙස් හඳුන්වා දෙනු ලබයි.

"...නාට්‍යවෝචිත අවස්ථාව වූ කලී කොයි මොහොතේ කොයි අතට පෙරළේදැයි කිව නොහැකි ලෙස කඳු මුදුනක යන්තම් නොවැටී තිබෙන ගලකට සමානය. එය නරඹන්නන් සිත්තුළ දෙතුන් පැත්තකට ඇදීමක් වැනි හැඟීමක් ඇතිකරවන්නකි. ආවේගයන්ගේ තියුණු ගැටීමක් එයින් සිදුවේ..."


නාට්‍යයක පෙළ රචනය සඳහා කතා වස්තුව තෝරාගැනීමෙන් අනතුරුව රංග භූමිය මතට ගෙන ආයුතු නාට්‍යමය අවස්ථා මොනවාදැයි රචකයා තීරණය කළ යුත්තේ එහෙයිනි. රත්තරන් නාට්‍යයේදී ජනතාවක් වස්තු කරගන්නා සරත්චන්ද්‍රයන් රසෝද්දීපනයට ඉවහල් වන නාට්‍යමය අවස්ථා පමණක් තෝරාගෙන කරලියට ගෙනඑනු ලබයි. සොරුන් අතර සංවාදය, මැහැල්ලට සොරුන් මුණගැසීම, යක්ෂණියක්දැයි බැලීමට දිවට දිව ගා බැලීම, අපායේ දර්ශනය මෙවන් නාට්‍යමය අවස්ථා වේ.

නාට්‍යමය අවස්ථා තෝරාගැනීමෙන් අනතුරුව ඒවා මුල, මැද, අග වශයෙන් හෝ කිසියම් හේතුඵල සම්බන්ධතාවයක් අනුව අවස්ථා පෙළගස්වා ගතයුතුය. රත්තරන් නාට්‍යයේදී මැහැල්ල ඇත්ත කියා සොරුන්ගෙන් පලායාමට තැත්කරයි. පසුව ඔවුන්ගේ මෝඩකම් වලින් ප්‍රයෝජන ගෙන තමා යක්ෂණියකැයි යන ඔවුන්ගේ විශ්වාසයම තහවුරු කොට ඔවුන් රවටා පලවාහරියි. අසරණව සිටි අවස්ථාවේ ඇය කල්පනා කළේ තමා රැකෙන පිළිවෙල පමණී. එහෙත් වස්තුව පහළ වී හරිගිය සැටියේ ඇය කල්පනා කරන්නේ ලේලියගෙන් පළිගැනීම ගැනය. එතැන් සිට ඇය ක්‍රියා කරන්නේ එම අදහස මුදුන්පත් කරගන්නා අටියෙනි. මෙහි නාට්‍යමය අවස්ථා හේතුඵල සම්බන්ධතාවන් ඇතිවන පරිදි පෙළගස්වා ඇත්තේ ඒ අයුරිනි.

(c) Shilpa Sayura Foundation 2006-2017