සම්ප්‍රදායික පූජාකර්මවල නාට්‍යමය ලක්ෂණ
 

ලොව අන්‍ය රටවල නාට්‍යකලාව මෙන්ම දෙමළ නාට්‍ය කලාවද දෙමළ ජනතාවගේ ආගමික හා සංස්කෘතික උත්සව හා පූජාකර්ම අවස්ථා තුළ ගැබ්ව ඇති නාට්‍යමය අවස්ථා තුළින් බිහිව ඇතැයි විශ්වාස කෙරේ.


ඒ අනුව දෙමළ නාට්‍ය කලාව හින්දු ආගම හා සම්බන්ධ විවිධ පුද පූජා ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණු සිරිත් විරිත් ඉටු කිරීම, අනුකරණ හා අභිචාරාත්මක රංග, ක්‍රීඩානීය අවස්ථා, උත්සව විලාස, විවිධ නිරූපණ ආදිය සමඟ වර්ධනය විය. මෙවන් ආගමික උත්සව අතර තෛපොංගල්, මාඩුපොංගල්, හින්දු අලුත් අවුරුදු උත්සවය, මහාශිවරාත්‍රිය, දීපවාලි උත්සව ආශ්‍රිතව පුළුල් නාට්‍යමය ලක්ෂණ දැකිය හැකිය තෛපොංගල් තෛපොංගල් යනු පළමුවන මාසයට කිරි ඉතිරවීම යන අර්ථය දෙනු ලබන වචනයකි. බොහෝ විට ජනවාරි මස 14 වන දිනට යෙදෙන මෙම උත්සවය දෙමළ ජනතාවට වැදගත් දිනයකි.

මෙම උත්සවයේදී ප්‍රධාන වශයෙන් වන්දනාමාන කිරීමට ලක්වන්නේ සූර්යයාය. "තෛ" නම් පළමු මාසයට යොදාගන්නා නාමයයි. "පොංගල්" යනු ප්‍රජාව යන අර්ථයයි. මෙදින සූර්ය දිව්‍ය රාජයා දකුණු දිග් භාගයේ සිට උතුරු දිග් භාගය දක්වා ගමන් අරඹයි. මෙය සිදුවන්නේ දකුණු දිග් භාගයේ අවසානය වන "මකරම්" කරා පැමිණීමෙනි. එබැවින් මෙම උත්සවය මකර සංක්‍රාන්තිය නමින් හැඳින්වේ.  සූර්යා ජීවත්වීම සඳහා ශක්තිය ලබා දෙනවා වගේම කෘෂිකාර්මික දියුණුවට, භවයෝග සම්පත් ලබාගැනීමට ඉවහල් වේ. එහෙයින් සූර්ය දෙවිඳුනට ස්තූති පූර්වකව නමස්කාර කිරීම යුතුකමක් ලෙස හින්දු භක්තිකයන් සලකනු ලබයි.
 
තෛපොංගල් උත්සවය සඳහා දෙමළ ජනයා සූදානම් වන්නේ නිවෙස් පිරිසිදු කොට සුදු හුණු පිරියම් කිරීමෙනි. මුළු තැන්ගෙය කෝලම් හා රන්තෝලි යන නම් වලින් හැඳින්වෙන මුට්ටියේ ගෙල වටා කහ පැළ හා ඉඟුරු කොළ බැඳ සරසා ගෘහනියන් විසින් ලිපමත තබනු ලබයි. එහි බඳ මත බත් පොඩිකර සාදාගන්නා පාප්පයක් තවරා කහ සහ කුම් කුම් වලින් ශුභ ලකුණු අදියි. මීට අමතරව බිත්තිවල හා ලෑලිවල හිරු දෙවිඳුන්ගේ පින්තූර අදිනු ලබයි. මන්ත්‍ර ජප කරද්දී පවුලේ ප්‍රධානියා සූර්ය දිව්‍ය රාජයාට පූජා පවත්වයි. මෙයින් හිරු දෙවියන්ට දක්වන ගෞරවය හා භක්තිය ප්‍රදර්ශනය කෙරේ. 
 
හිරු මුදුන්වන මධ්‍යාහ්නයේදී පොංගල් උයන්නේ එළිමහනේය. එසේ කරනුයේ සූර්ය රශ්මිය මුට්ටියේ කටතුළින් එය ඇතුළට පතිත වු විට එයින් සාමය හා සමෘද්ධිය ළඟා වන බව දැඩි ලෙස විශ්වාස කරනු ලබන හෙයිනි. සුභ නැකතින් ලිප ගිනි දැල්වීමෙන් අනතුරුව කිරි මුට්ටියක් ලිපේ තබයි. කිරි උණුවන විට එයට සහල් දමා දිය බතක් පිළියෙළ කිරීමෙන් පසු ගෘහණියෝ එය ඉදිරියේ කපුරු දැල්වීමෙන් හා මිණිගෙඩි නාද කිරීමෙන් ඊට පූජා පවත්වති. මීට අමතරව පොල් හකුරු යොදා සාදන පුඩිමක් වැනි ආහාරයක්ද උක් දඬු යොදා සකස් කරන ආහාරයක්ද ඇතුළත් වේ. මෙසේ සකස් කරගත් පොංගල් ප්‍රථමයෙන්ම පුදනුයේ හිරු දෙවිඳුනටය.

(c) Shilpa Sayura Foundation 2006-2017