සාහිත්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනය යන්නෙහි සාමාන්‍ය අර්ථය නම් එක් භාෂාවක පවත්නා යමක් අනෙක් භාෂාවකින් පැවසීමය. එහෙත් නාට්‍යය පරිවර්තනය ඊට තරමක් වෙනස් වේ. පරිවර්තන නාට්‍යය කෘතියක් යනු යම්කිසි නාට්‍යය කෘතියක කථා වින්‍යාසය, චරිත, සථාන නාම ආදිය වෙනස් නොකොට සංවාද බස පමණක් තවත් බසකට නගා සකස් කරනු ලබන නාට්‍ය නිර්මාණයකි.
සාහිත්‍ය පෝෂණය සඳහා පරිවර්තනය බෙහෙවින් ඉවහල් වේ. එමෙන්ම එක් එක් භාෂා දන්නා මිනිසුන් අතරට නිර්මාණ සාහිත්‍ය ගෙන ගියේ පරිවර්තන මාර්ගයෙනි. එසේ වුවද නාට්‍යයක් පරිවර්ථනයක් ලෙස වේදිකාවට ගෙන ඒම එතරම් පහසු කාර්යයක් නොවේ. මන්ද? අන්‍ය සාහිත්‍යය කෘතියක් පරිවර්තනය කිරීමට වඩා නාට්‍යයක් පරිවර්තනය කිරීම අසීරු කරුණක් වේ. ඒ සඳහා භාෂා දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. පරිවර්තනයට ලක්වන නාට්‍යය පිළිබඳ පුළුල් දැනුමක් තිබිය යුතුය. නාට්‍ය හා රංග කලාව පිළිබඳ දැනුමක් තිබිය යුතුය. දෙබස්, තාක්ෂණය පිළිබඳ දැනුමක් තිබිය යුතුය. ඇතැම් නාට්‍යකරුවෙකුගේ දෙබස් සෑම අර්ථයෙන්ම බහු ශාබ්දිකය. විවිධ චරිත සතු විවිධ භාෂා විලාශ මෙන්ම එකම චරිතය විවිධ තැනට අදාළව භාෂාව හසුරුවන වෙනස් විලාශ ද වේ. එමෙන්ම නාට්‍යයක කාව්‍යමය ලක්ෂණ රැකිය යුතුය. උඩු පෙළ අරුත යටින් දිවෙන යටිපෙළ අරුතද ගැබ් කළ යුතුය. මේ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන්නේ නම් එය සාර්ථක නාට්‍යයක් නොවන්නේය. මුල් නාට්‍ය රචකයා සිය නිර්මාණයෙන් අපේක්ෂා කළ දෙය පරිවර්තකයාට දිය නොහැකි වනු ඇත.
තත්වය මෙසේ වුවද මෙම තත්ත්වයන් රැක ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව උසස් යැයි සැලකෙන නාට්‍ය නිර්මාණ රාශියක් ප්‍රේක්ෂකයා අතරට ගෙන ඒමට මෙරට පරිවර්තන නාට්‍ය වේදිකාවට ගෙන ආ නාට්‍යකරුවන් සමත්වී සිටී. මේ අයුරින් පරිවර්තන නාට්‍යය වැඩි වශයෙන් නිෂ්පාදනය වීම ආරම්භ වූයේ 1960 දශකයේ සිටය. එතැන් සිට ඉදිරියට අප රටේ පරිවර්තනයට පත් වූ නාට්‍ය රැසකි.