ස්වතන්ත්‍ර නාට්‍යයක් යනු නාට්‍යකරුවෙකු විසින් තමාගේ අත්දැකීම් උපයෝගි කරගනිමින් බාහිර කෘති අනුකරණයෙන් තොර රචනා කරනු ලැබූ නාට්‍යයකි.
නූර්ති යුගයේ නාට්‍යවල අන්තර්ගතය වූයේ ඓතිහාසික හා බෞද්ධ කතාය. ඒවායින් සමකාලීන සමාජය පිළිඹිබු නොවුණි. මේ ඌණතාවය සපුරාලනු ලැබුයේ ජයමාන්න නාට්‍යය විසිනි. ජයමාන්න නාට්‍යය යනු බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්නයන් විසින් නිෂ්පාදනය කරන ලදුව මිනර්වා නාට්‍යය කණ්ඩායම විසින් ප්‍රදර්ශනය කරන ලද නාට්‍යය සමූහයයි. ජයමාන්න නාට්‍යය අතර කඩවුණු පොරොන්දුව, පෙරළෙන ඉරණම, වැරදුණු කුරුමානම, කපටි ආරක්ෂකයා යන නාට්‍යය වෙසෙසින් සඳහන් කළයුතු නාට්‍යය වේ.
ජයමාන්න නාට්‍යයන්හි දැකියහැකි ව්ශේෂතා කීපයකි. පෙර පැවති නාඩගම් හා නූර්ති ලක්ෂණ වලින් බැහැර වීම, පැරණි හා ඓතිහාසික කතා පුවත් වෙනුවට තත්කාලීන සමාජය පදනම් කරගත් කල්පිත වස්තු විෂය කරගැනීම, ත්‍රාසය, භීතිය, අත්භූතය, ප්‍රේමය වැනි ලක්ෂණ වලට වැඩි බරක් යෙදීම ගීතය හා සංවාදය යන දෙකම යොදාගැනීම, ස්වභාවික හා ශෛලිගත සම්ප්‍රදායන් දෙකේ මිශ්‍රණයක් වීම එම විශේෂ ලක්ෂණ වේ. ජොසී බබා, මනප්පුවා වැනි විකට චරිත මගින් ප්‍රේක්ෂකයා පිනවීමට සමත්වීමද මෙම නාට්‍යය ජනප්‍රිය වීමට හේතු සාධක විය. එසේ වුවද මෙම නාට්‍යය උසස් නාට්‍යය නොවේ. මේ සඳහා යොදාගත් බස ව්‍යවහාරික භාෂාවෙන් ඈත් වූ ලිඛිත භාෂාවට සමීප බසක් විය.
සිරිසේන විමලවීරයන්ගේ නාට්‍යයද ස්වතන්ත්‍ර ගණයේලා සැලකිය හැකි නාට්‍ය වේ. මෙතුමාගේ නාට්‍යය අතර හෙළදිව පුරාණය, අම්මා, සිංහල කොඩිය, රොඩී කෙල්ල යනාදිය වේ. ජාතික සිරිත් විරිත් නංවාලීම, පරසිරිත් උපහාසයට ලක්කිරීම, යනාදි පැරණි නාට්‍යය රචකයන්ගේ මඟ ඔස්සේ ඉදිරියට ගිය විමලවීරයන්ගේ ප්‍රේමය මෙන්ම විහිළු තහළුද සිය නාට්‍යයට ඇතුළත් කරනු ලැබීය. නාට්‍යය බොහෝදුරට බටහිර ස්වභාවික නාට්‍යවලට සමීපවිය.
තවත් ඉතාම වැදගත් ස්වතන්ත්‍ර නාට්‍ය රචකයා වන්නේ එදිරිවීර සරත්චන්ද්‍රයන්ය. මෙතුමාගේ ප්‍රථම නාට්‍ය වූයේ බහින කලාවය. දෙවන නිර්මාණය වූයේ පබාවතී නාට්‍යයයි. ශෛලිගත හා ස්වභාවික ලක්ෂණ මිශ්‍රකොට කරනු ලැබූ මෙම නාට්‍යයට වස්තු විෂය වූයේ ජාතක පොතේ එන කුස ජාතකයයි. එසේවුවද එය සම්ප්‍රදායික කුස ජාතකය නොව කුස-පබාවතී පුවතට නව අර්ථ කථනයක් දීමකි. පබාවතී ගැටුම එළිදැක්වීමකි.
නාඩගම් සම්ප්‍රදායට අනුව යමින් ඉන් බැහැර කළයුතු දේ බැහැර කරමින් ඇතුළත් කළයුතු දේ ඇතුළත් කරමින් රමණීය සින්දු නාඩගමක් වශයෙන් 1956 දී මෙතුමා විසින් මනමේ නාට්‍යය වේදිකාවට ගෙන එනු ලැබීය. භාරතීය නාට්‍යය සම්ප්‍රදාය පමණක් නොව චීන-ජපන් නාට්‍යය සම්ප්‍රදායන්ගෙන්ද ආභාෂය ලැබූ මෙම නාට්‍යය මෙරට නාට්‍ය වංශකතාවේ පැහැදිලි කඩඉමක් සනිටුහන් කරන්නක් විය. මෙයට වස්තු විෂය වූයේ චුල්ල ධනුර්ධර ජාතකයයි. ස්වතන්ත්‍ර නිර්මාණයක් වු මෙය මිනිස් ජීවිතය පිළිබඳ පරිපූර්ණ වූත් අර්ථවත් වූත් විවරණයක් සපයයි. සංගීතය හා නැටුම් ක්‍රියා විකාශනයට තුඩු දෙන අයුරින් සංයෝජනය කරයි. නාට්‍ය භාෂාවේ පවත්නා කාව්‍යමය ගුණය, වේදිකා සැරසිලි, අංගරචනා, ආලෝකකරණය උචිත අයුරින් යොදාගනියි.
මෙතුමා විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතිශය සාර්ථක නිර්මාණය වන්නේ 1961 දී වේදිකාවට ගෙන ආ සිංහබාහු නාට්‍යයයි. පුත්‍ර ප්‍රේමය, පරම්පරා ගැටුම තේමාව කරගත් මෙම නාට්‍යයට මූලාශ්‍ර කරගනු ලැබුවේ සිංහලයින්ගේ සම්භවය පිළිබඳ කථා පුවතයි. මනමේ මෙන්ම සිංහබාහුද ශෛලිගත නාට්‍යයකි. අතිශය සංකීර්ණ ගැඹුරු ජීවන දෘෂ්ටියක් මෙම නාට්‍යය තුළින් මතුකරනු ලබයි. මෙතුමා නිර්මාණය කළ තවත් නාට්‍යය රැසකි. රතතරන්, කඳාවළලු, හස්තිකාන්ත මන්තරේ, එලොව ගිහින් මෙලොව ආවා, වෙල්ලවැහුං, මහාසාර, පේමතී ජායතී ශෝකෝ, වෙස්සන්තර ඒ අතර වේ. මෙම නාට්‍යවල දැකිය හැකි විශේෂ ලක්ෂණය වනුයේ ජනකතා හා ජාතක කතා ඇසුරෙන් ශෛලිගත ස්වතන්ත්‍ර නිර්මාණය කර තිබීමය.
හෙන්රි ජයසේන නිර්මාණය කළ නාට්‍යය අතර ශෛලිගත ශෛලියෙන් නිර්මාණය කළ සාර්ථක ස්වතන්ත්‍ර නාට්‍ය කීපයක් වේ. ජනේලය, කුවේනි, තවත් උදෑසනක්, අපට පුතේ මඟක් නැතේ ඒ නාට්‍ය අතර වේ. එදිනෙදා ජීවිතයේ ගැටලු, තරුණ අසහනය, කම්කරු ගැටලු, විරැකියාව වැනි සමකාලීන සමාජ යථාර්ථයන් මේ සඳහා විෂය කරගනු ලැබ ඇත.
මනමේ නාට්‍යය බිහිවීමෙන් පසු ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය අන්ධානුකරණයෙන් ගෙන නිර්මාණය කළ ජාතක කතා, ජනකතා රැසක් බිහිවී තිබේ. එහෙයින් සංකීර්ණ සමාජ ප්‍රශ්න ශෛලිගත සම්ප්‍රදාය තුළින් එළිදැක්විය හැකිද යන්න ප්‍රශ්නයක් විය. ජනේලය මෙකී ප්‍රශ්නයට සපයන ලද පිළිතුරකි. කුවේණි නාට්‍යයද විජය කුවේණි පුවතට නව අර්ථකථනයක් දීමකි.
ස්වාභාවික සම්ප්‍රදාය අනුගමනය කරමින් සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ස්වතන්ත්‍ර නිර්මාණ අතර බෝඩිංකාරයෝ, තට්ටුගෙවල්, දුන්න දුණු ගමුවේ යන නාට්‍යය වේ. තරුණ මධ්‍යම පංතික ජීවිතය, තරුණ අසහනය, පවුල් සංස්ථාව තුළ පැනනගින ගැටලු මේ සඳහා වස්තු විෂය කරගනු ලැබ ඇත.
සෙසු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයන් අතර ආර්.ආර්.සමරකෝන් (අහසින් වැටුණු මිනිස්සු, ජේලර් උන්නැහේ, ඉඩම,කැළණි පාලම) සයිමන් නවගත්තේගම (පුස්ලෝඩං,ස්ත්‍රී,සුබ සහ යස)කේ.බී.හේරත් (මායා දේවි, දෝන කතරිනා, දෙවන මහින්ද) රන්ජිත් ධර්ම කීර්ති (මෝදර මෝල, මේඝ) වැනි නාට්‍යය විශේෂ තැනක් ගනී.