නූර්ති
 

20 වන සියවසේ මුල්භාගයේදී නාඩගම් කලාවේ පිරිහීමත් සමඟ නූර්ති කලාව ලංකාවේ ජනප්‍රිය විය. පෙරදිග ගීත නාටකය හා අපරදිග සංවාද නාට්‍යයේද සම්මිශ්‍රණයෙන් ඇතිවූ නූර්තිය මෙරට පැමිණි පර්සි ජාතික බලිවලාගේ නායකත්වයෙන් යුත් නාට්‍ය කණ්ඩායම් විසිනි. 
 
එසේ වුවද පර්සි නාට්‍යය කණ්ඩායම මෙහි පැමිණීමට ප්‍රථමද ඒ පිළිබඳ යම් යම් බලපෑම් මෙරට නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ දැකිය හැකි විය. ඒ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ සී.දොන් බස්තියන් හෙවත් කළුතන්ත්‍රිගේ දොන් බස්තියන් ජයවීර බණ්ඩාර මහතාය. නූර්ති සාහිත්‍යයේ ආදි කර්තෘවරයා වු මෙතුමා නාඩගම් පුහුණු කරවන්නෙක්ද විය. එබැවින් මෙතුමාගේ පළමු නූර්තිය රෙලිනාය. එය,එනමින් යුත් නූර්ති ස්වරූපය විය. රොමියෝ ජුලියට්, වැලන්ටයින්, සිංහබාහු, ස්වර්ණතිලකා මෙතුමාගේ සෙසු නූර්ති අතර වේ.
 
සී. දොන් බස්තියන් මහතාට පසුව නූර්ති කලාවට අනගි මෙහෙවරක් කරනු ලැබුයේ ජෝන්ද සිල්වා ශූරීන්ය. මෙතුමාගේ මුල්ම නූර්තිය පරභව සංවාද නාට්‍යයයි. නාට්‍ය කලාවට සේවයක් කිරීම පිණිස 1902 දී ආර්ය සිංහල නාට්‍ය සභාවද පිහිටවනු ලැබීය. නාට්‍ය පනහකට අධික සංඛ්‍යාවක් නිර්මාණය කළ මෙතුමාගේ නාට්‍ය අතර සිරිසඟබෝ, දස්කොන්, වළගම්බා, ශ්‍රී වික්‍රම, කුස, වෙස්සන්තර, සකුන්තලා, ඔතෙලෝ, හැම්ලට්, වැනීසියේ වෙළෙන්දා වෙසෙසින් සඳහන් කළ යුතු නාට්‍යය වේ.
 
ජෝන් ද සිල්වා ශූරීන්ට පසුව නූර්ති නාට්‍ය කලාවට අනගි මෙහෙවරක් කළ තැනැත්තා චාල්ස් ඩයස් මහතාය. ඔතෙලෝ, කුස, භුරිදත්ත, පද්මාවතී මෙතුමාගේ කෘති අතර වේ. සිංහල නාට්‍ය කලාවේ සුප්‍රකට ටවර්හෝල් යුගය ඇරැඹෙනුයේ මෙතුමාගේ කාලයේදීය. 1911 දෙසැම්බර් 07 වන දින ටවර් රඟහල විවෘත කරන ලද්දේ මෙතුමාගේ "පණ්ඩුකාභය" නාට්‍යය රඟදැක්වීමෙනි.
 
පසුකාලීන නූර්ති නාට්‍යවල ගැඹුරක් නොමැති වීම, නූර්තිය පහළ මැද පංතියට විෂය නොවීම, ගම්බද ජනයාගේ අධ්‍යාත්මය හඳුනා නොගැනීම, ඒකාකාරී තත්ත්වයෙන් ඉහළ තලයට ගෙන ඒමට තරම් ප්‍රමුඛත්වයක් දියහැකි නූර්ති ශිල්පීන් පසුකාලීනව බිහි නොවීම ආදි කරුණු සියල්ලේ ප්‍රතිඵලය වූයේ නූර්ති නාට්‍යය පිරිහීමට පත්වීමය.

(c) Shilpa Sayura Foundation 2006-2017