නාඩගම්, අංග සම්පූර්ණ රංග ශෛලියකින් යුතු දෘෂ්‍ය කාව්‍යය විශේෂයකි. එහෙත් එය සිංහල නාට්‍ය කලාවේ ක්‍රමික විකාශනයක් නොවේ. එය ප්‍රභවය ලැබුවේ දකුණු ඉන්දියාවේ වීදිනාට්‍ය විශේෂයක් වන තෙරුක්කුත්තු ඇසුරෙනි. නාඩගම් වඩාත් ප්‍රචලිත වූයේ හලාවත සිට තංගල්ල දක්වා වූ බටහිර හා දකුණු මුහුදු තීරයේය.
ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍ය ක්‍ෂේත්‍රයට ආගන්තුකව පිවිසි මෙම නාට්‍යය එවක රසිකයනට අපූරු අත්දැකීමක් විය. මුලදී දෙමළෙන් රචනා කොට පෙන්වූ කතෝලික නාඩගම් පසුව සිංහල ප්‍රේක්ෂකයන් අතරටද ගෙන එනු ලැබීමෙන් පසු දේශීය ඌරුවට හැඩගැසී විකාශනය වනු දැකිය හැකිය. මෙසේ දේශීය ඌරුවට හැඩගැසීමට බෙහෙවින් බලපෑ කරුණ වූයේ කෝලම් සොකරි වැනි නාට්‍ය විශේෂයනට බෙහෙවින් සමීප වීමය. පොතේගුරු හෙවත් නළු කණ්ඩායම් නායකයකු වීම, නළුවන් ගමන් තාලයට සභාවට පිවිසීම නායකයා හා නළුවන් අතර කෙරෙන සංවාද වැනි ලක්ෂණ මෙම නාට්‍ය කලාවටද පොදු ලක්ෂණයන් විය.
සිංහල නාඩගම් කලාවේ පීතෘවරයා ලෙස කම්හල් කරුවෙකු වූ පිලිප්පු සිංඤෙඤ් මහතා සැලකේ. 1814 දී මෙතුමා විසින් නාඩගමට නගනු ලැබූ ඇහැලේපොල ඛේදවාචකය ප්‍රථම සිංහල නාඩගම වේ. මෙතුමා විසින් කරලියට ගෙන එනු ලැබූ නාඩගම් 13කි. ඒ අතර මාතලන්, සිංහවල්ලි, රජතුන්කට්ටුව වෙසෙසින් සඳහන් කළ යුතු නාඩගම් වේ.
ආරම්භක අවධියේ නාඩගම් රඟදක්වනු ලැබුවේ එළිමහනේය. කරලිය වශයෙන් හඳුන්වනු ලැබූ නාඩගම් රංගභූමිය පස්ගොඩ ගැසීමෙන් පොළොව මට්ටමෙන් උස්කොට අර්ධකවාකාර ලෙස තනනු ලැබූවකි. කරලිය පිටතට නෙරා ඒමට සලස්වා ඊට යාබදව පොල්අතු මඩුවක් තනනු ලැබේ. නේපථ්‍යාගාරය වශයෙන් භාවිතා කළේ මේ මඩුවයි. මඩුවටත් කරලියටත් අතර තිර එල්ලා කරලිය මඩුවෙන් වෙන් කරනු ලැබීය. රඟහල් ඉදිකොට නාට්‍යය පෙන්වීම ප්‍රථම වරට අරඹන ලද්දේ 1885 දීය.
නාඩගම් ආරම්භයේදී ප්‍රථමයෙන්ම කරලියට එනුයේ පොතේගුරාය. සුදු ලෝගුවකින් හා හිස බැඳි ජටාවකින් සැරසී සිටින හෙතෙම ප්‍රාරම්භක ගීතය ගායනා කෙරෙත්ම එතැන් සිට නාට්‍යය ආරම්භ වේ. පොතේගුරා විසින් කියනු ලබන ඉෂ්ට දේවතා ආරාධනයෙන් යුත් මෙම පොතේ කවි ද පූර්ණ විරිදුව වශයෙන් ද හඳුන්වයි.
අනතුරුව පොතේගුරා විසින් නාඩගමට අයත් ස්ථාවර පාත්‍රයන් එකිනෙක ඉදිරිපත් කිරීමට පටන්ගනී. වේදිකාවේ රඟපා නොපෙන්වන කොටස් කවියෙන් ඉදිරිපත් කිරීමද මොහුට අයත් කාර්යයකි. පළමුවෙන්ම සභාවට එන්නේ බහුභූතයාය. මොහු කෝලමා, කෝනංගි වශයෙන්ද හඳුන්වනු ලබයි. මෙසේ එන බහුභූතයා සින්දුවක් කියයි. පොතේගුරු හා සංවාදයක යෙදෙයි.
පසුව කරලියට එනුයේ සෙල්ලම් ළමාය. සුදු ධෝතියකින්ද විල්ලුද කබායකින් සැරසුණු හෙතෙම පන්හිඳක් හා පුස්කොළ පොතක්ද ගෙන ලියන බව දක්වයි. සෙල්ලම් ළමා උගතෙකු ලෙස සැලකේ. පොතේගුරු විසින් ඔහු හඳුන්වා දුන් පසු සින්දුවක් කියයි. අනාගත වෘක්‌තෲ, අණබෙරකාරයෝ සහ හඬ දූතයෝ සෙල්ලම් ළමාට පසු පිළිවෙලින් පැමිණෙති. හඬ දූතයෝ රජුගේ පැමිණීම දක්වා සිටිත්. පොතේගුරු අසුනේ විරිදුව ගයයි.
මේ සියල්ලනටම පසුව සහපිරිවරින් පැමිණෙන රජු අසුන් ගනී. නියම කතාව ඇරැඹෙනුයේ මෙතැන් සිටය. මේ සියළුම අංග පොදුවේ සෑම නාඩගමක් විසින්ම අනුගමනය කරයි. කරළියට එන සෑම පාත්‍රයකුම පොතේගුරු විසින් හඳුන්වාදීමෙන් අනතුරුව තමා විසින්ද කවියකින් හඳුන්වාදීම සිරිතය. වැයෙන බෙරපදයට අනුව පා තබමින් කරළිය වටා තුන් වටයක් ගොස් අසුන් ගත යුතුය. සෑම නාඩගමක්ම අවසන් වන්නේ මංගලම් සින්දුව ගායනා කිරීමෙනි.
නාඩගම සඳහා සංගීත භාණ්ඩ ලෙස බෙරය හොරණෑව භාවිතා කරනු ලබයි. නාඩගම සඳහා ගනු ලබන බෙර විශේෂය මද්දලය හෙවත් දෙමළ බෙරයයි. නාඩගම්වල කවි ද්‍රවිඩ ඡන්දස් අනුවද හින්දු කර්නාට රාගතාල අනුවද ගෙතුණු බව පෙනේ. 19 වන සියවස අවසානය වන විට මෙම ගැමි නාටක විශේෂය අභාවයට යනු දැකිය හැකිය.