ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදුබඩ ප්‍රදේශයේ ප්‍රචලිත නාට්‍ය විශේෂයකි. කඳුරු, රුක්අත්තන, සමදරා වැනි සැහැල්ලු දැවයෙන් සාදන ලද ඉතා විචිත්‍ර වෙස් මුහුණු පැළඳ කරන මෙම නාටක, වෙස්මුහුණු නාටක වශයෙන් හැඳින්වේ. කෝලම් යනු නළුවකු පළඳින වේශය වේ.
කෝලම් උපතට අනුව මහා සම්මත රජුගේ බිසවට දරු ගැබක් පිළිසිඳි බැවින් දොළදුක් ඇති වු බවත්, අහර ප්‍රිය නොවී නැටුම් බැලීමට ආශා වු බවත් කියයි. එය සංසිඳිණු පිණිස රජ අණ පරිදි දෙස්-විදෙස් නළුවන් පැමිණ බිසව ඉදිරියේ රැඟුම් පෑවත් ඒ එකකින්වත් සතුටු නොවූ හෙයින් රජු මහත් සේ තැවෙන්නට විය. එයින් සක්දෙවිඳුගේ පඬුපුල් අස්න හුණුවිය. සක් දෙවිඳු එදා රාත්‍රියේම විශ්ව කර්ම දෙවිඳුන් ලවා වෙස් මුහුණු සාදවා කෝලම් රඟදැක්වෙන පොතකුත් සමඟ රජුගේ උයනේ තැබීය. පසුදා උදෑසන රාජ සේවකයන් එය දැක රජුට සැළකිරීමෙන් අනතුරුව නළුවන් ලවා මේ වෙස් මුහුණු බැඳගෙන පොතේ සඳහන් රංග විදාන අනුව නැටීමට රජු අණ කරනු ලැබීය. මෙයින් රජ බිසවගේ මනදොළ සැපිරී පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය බව කියයි.
කෝලම් නාටකයේ ප්‍රධාන කොටස් දෙකකි. පළමු කොටසට රංග භූමිය වශයෙන් ගැනෙන "තානායම් පොළ" පිළියෙල කරන ආකාරය පිළිබඳ පුවත අයත් වේ. ඒ සඳහා එන නිලධාරින් එය නියමාකාරව ඉටු නොකරයි. බීමත්ව පැමිණි මොවුන් රාජකාරිය ඉටුකරනු වෙනුවට අනංමනං දොඩවයි. මේ හේතුවෙන් හාස්‍ය රසයක් මතුවේ.
කෝලම් පිටපත් අනුව එහි එන චරිත ප්‍රමාණයක් එකිනෙකට වෙනස් වේ. එසේ වුවද සෑම කෝලමකටම පාහේ එන චරිත වේදිකාවට පිවිසෙන්නේ අනුපිළිවෙලකටය. පහත දැක්වෙනුයේ කෝලම් චරිත අතුරෙන් බහුල වශයෙන් යොදාගනු ලබන කෝලමුන් කීපයකි.
තොරතුරුකරු හෙවත් සබේවිදානෙ - කෝලම් රංගය නරඹනු පිණිස පළමුව තානායම් පොළට පැනිණෙන මොහු තෙරුවන් නැමඳ කෝලම් උපත විස්තර කෙරෙන කවි ගායනා කරයි.
අණබෙර කෝලම - රජුගේ අණ ප්‍රචාරය කිරීමට පැමිණෙන මොහු මද වේලාවකින් රජු හා බිසව කෝලම් බැලීමට පැමිණෙන බව සබයට දැනුම් දෙයි.
නොන්චි අක්කා - අණබෙරකරුගේ මහළු බිරිඳයි. සැමියා සොයා ඇය තානායම් පොළට පැනිණේ.
හේවා කෝලම - රජුගේ සන්නද්ධ හේවා භටයන් නිරූපණය කරන මොවුහු ප්‍රේක්ෂකයන් බිය ගන්වනු ලබයි. හැසිරීම හාස්‍යජනක වේ.
පොලිස් කෝලම - බැටන් පොලු අතින්ගත් මොවුහු ජනයා හසුරුවනු ලබන ආකාරයක් පෙන්නුම් කරයි.
ආරච්චි රාළ - මුදලිගේ අණ පරිදි තානායම් පොළ පිළියෙළ කිරීමට පැමිණේ.
ජයකෝලම - පේඩිරදා වශයෙන් හඳුන්වනු ලබන අතර රෙදි පොට්ටනියක්ද රැගෙන පැමිණෙන මොහු උඩුවියන් බැඳීමත් පාවඩ එළීමත් කරනු ලබයි.
ලෙන්චිනා- ජසයාගේ රූමත් බිරිඳ වන මැයද සැමියා සොයා තානායම් පොළට පැමිණේ. (ජසයා ලෙන්චිනා හා ආරච්චිරාළ එක්ව විකට චරිත නිරූපණය කරනු ලබයි)
මුදලි - රජු පැමිණීමට පෙර සියලු වැඩ අවසානදැයි බැලීමට පැමිණන්නේ මුදලිය. මොහුගේ පැමිණීමෙන් ජසයා හා ලෙන්චිනාගේ විකට චරිත ඇතුළත් ජවනිකාව නිමවේ.
ඉන් අනතුරුව රජතුමා හා බිසවගේ සම්ප්‍රාප්තියෙන් පසු කෝලම් නාටකයේ දෙවන කොටස ඇරැඹේ. නාට්‍යමය වශයෙන් වැදගත් වන්නේ මේ කොටසයි. චරිත ඇසුරෙන් ගොඩනැගෙන කතා වස්තුවක් නාට්‍යමය වශයෙන් රඟදැක්වෙන්නේ මෙතැන් සිටය. ඒ සඳහා ආගමික, ඓතිහාසික, අත්භූත චරිත ඇතුළත් කතා වස්තු කොටගනී. මනමේ, සඳකිඳුරු, ගෝඨයිම්බර, කාපිරිකතාව මෙවන් කතාව අතර වේ.
වෘත්තාකාර රඟමඩලක් වන කෝලම් රංග භූමිය හෙවත් තානායම් පොළ එක පැත්තක මල් පැලයක් වේ. බෙරකරුට හා පොතේ ගුරුට එලන ලද පැදුරක් වේ. තානායම් පොළ පිටුපස මඩුවකි. නළුවන් වේශ නිරූපණය කරන්නේ මේ මඩුවේ සිටය. මඩුවේ සිට රංගභූමියට ඇති දොරකඩ වෙස් අත්න නමින් ආවරණයක් වේ. එය ගොරක ගස් සිටුවා හරස් අතට පුවක් පටි බැඳ පුවක් අතු හා ගොරක අතුවලින් සකසා ගනු ලබයි. තම වාරය පැමිණෙන තෙක් නළුවෝ වෙස් අත්ත පිටුපසට වී බලා සිටිති. කෝලම් නාටකය ඇරැඹීමට පෙර පණිවුඩ කෝලම නමින් හැඳින්වෙන එකිනෙකට සම්බන්ධ නොවන රංග කොටසක්ද වේ.
කෝලම් නාටකයේ අගය රඳාපවතින්නේ නැටුම් නිර්මාණය හා වෙස්මුහුණු නිර්මාණය යන අංග දෙකේ විශ්ෂ්ඨත්වය මතය. මෙහිදී හාස්‍ය හා උපහාසය ප්‍රකාශ කරන්නේ ආංගිකභවනය මගිනි. කෝලමේ මුල් කොටසේ එකට ගොනුවූ කතාවක් නොමැත. එහිදී සිදුවනුයේ එක් එක් චරිත ඉදිරියට ඒමකි. එහෙත් ඒවා ඉතා ඉහළ මට්ටමෙන් නාට්‍ය රසය ඇතිකරයි.
වෙස්මුහුණු නිර්මාණද නාට්‍ය රසයට හේතු වී ඇත. පේඩි කෝලමේ වෙස්මුහුණු මෝඩයකුගේ ස්වභාවය විදහා දක්වන අතර පනික්කිරාළගේ වෙස්මුහුණු අහිංසකය. මුදලි මුහුණෙහි ඇත්තේ තේජස් වී ගතියක් නොව පුහුමාන්නයකි.
සංගීත භාණ්ඩ වශයෙන් කෝලම් නැටුමට එක්වන්නේ පහතරට බෙරයයි. හොරණෑව හා ගෙජ්ජියද සංගීත භාණ්ඩවල එන නාද රටාව වෙස්මුහුණෙන් නංවා ගුප්ත රසය තියුණු කරයි. කෝලම් ගායනා මූලික වශයෙන් තෝවිල්තාල අනුව යන නමුදු කපිරිඤ්ඤා සංගීතයේ ආභාෂයද දක්වයි.