සොකරි
 විනෝදය මෙන්ම ඵලදාව, සශ්‍රිකත්වය හා සෞභාග්‍යය උදාකර ගැනීමේ අරමුණින් රඟදැක්වෙන සොකරි ශ්‍රී ලංකාවේ පැරණිතම ජන නාටකයකි. එහෙත් මෙම ජන නාටකය උඩරටටත්, වන්නියටත්, සතර කෝරළයේ ඇතැම් ප්‍රදේශවලටත් සීමා වේ. සොකරි නාට්‍යය සඳහා ප්‍රස්තූත කරගන්නා කතා පුවත පිළිබඳ ප්‍රවාද බහුල නමුත්, මූලික කතා නිමිත්තේ විශේෂිත උඩුයටිකුරු කිරීම් දක්නට නොලැබේ. එබැවින් සොකරි රැඟුම්වලට ඇසුරු කරගන්නා පොදු පුවතක් වේ. ඒ මෙසේය.
 
 සොකරි රූමත්ය. ඇය පිළිබඳ සිතක් ගුරුසාමි හෙවත් ආඬිගුරු ඇතිකර ගත්තද ඇය එය ප්‍රතික්ෂේප කරන්නීය. එහෙත් ගුරුකම් දන්නා ආඬිගුරු, ඇය සිය වසඟයට ගනු ලැබීය. ඔවුනට පරයා නම් අතවැසියකු ද විය. සොකරිට දරුවන් නොලැබුණි. එහෙයින් කතරගම දෙවියනට බාරයක් වීම සඳහා ඔව්හු ලංකාවට එමින් සිටියහ. අතරමඟදී නැව කැඩීම නිසා පුත්තලමට ආසන්න තඹරාවිට නම් ගමට ඔව්හු ගොඩබටහ. එගම වෙදරාළට අයිති ඉඩමක ගෙපැලක් තනාගනු ලැබීය. ආඬිගුරු පැන් සොයා ගියවිට බල්ලෙක් සපාකයි. ඔහුට වෙදකමට එන වෙදරාළ සොකරි සමඟ පලායයි. වෙදරාළ නිසා සොකරි දරුවෙකු ලබයි. ආඬිගුරු පසුව ඇය සොයාගනී. සොකරි ආපසු කැඳවා ගෙනඑනු ලැබ සියළු දෙන සාමදාන වෙති. සොකරි නාටකය මෙම සිද්ධි මාලාව මත ගොඩනැගී ඇත. 
 
 මෙය පත්තිනි දේවිය මුල්කොටගත් භූමි නාටක විශේෂයකි. එසේ වුවද සොකරිය හා පත්තිනි දේවිය අතර පැහැදිලි සම්බන්ධතාවයක් නොපෙනේ. එය මත භේදයට තුඩු දෙන්නක් නමුත්, සොකරි නාටකය ආරම්භ වන්නේ පත්තිනි දේවියට හා කතරගම දෙවිඳුනට පඬුරු ඔප්පු කිරීමෙනි.

මෙහි රඟමඬල වෘත්තාකාර වීම විශේෂ ලක්ෂණයකි. උත්සවය අවසානයේ පත්තිනි දේවියට පූජාවක්ද පවත්වනු ලබයි.
 
කෝලම්, නාඩගම් වැනි අනෙකුත් ගැමි නාටක වලට විවිධ කතා පුවත් වස්තු වුවද සොකරි නාටකයට වස්තු විෂය වී ඇත්තේ ඉහත දැක්වූ කතා පුවත පමණී. එහෙත් එහි ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්කම් දැකිය හැකිය. මුඛ පරම්පරාගත කතාවක් වස්තු විෂය වීම මෙම ප්‍රාදේශීය වෙනස්කම් වලට හේතු කාරක වී ඇත. රංග ගතවීමේදී ප්‍රාදේශීය වෙනස්කම් දැකිය හැකිය. ඒ වෙනස්කම් වල ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ලක්ෂණ මෙන්ම අනන්‍යතාවයක්ද දැකිය හැකිය. නැටුමට ගැයුමට උඩරටදී ගැටබෙරය භාවිතා කෙරේ. වන්නියේදී භාවිතාවනුයේ උඩැක්කියය. මේ ප්‍රාදේශීය කරණයේ ප්‍රතිඵල වේ.
 

 සොකරි නාටකයේ රංග ශෛලියේ සුවිශේෂ ලක්ෂණය අනුකරණයයි. කපුරාළ හෙවත් ගුරුන්නාන්සේ සිදුවීමක් කවියෙන් විස්තර කරණු ලබයි. පාත්‍රයන් එය අනුකරණය කොට දක්වයි. නැවක් තැනීම, ගොඩ බැසීම, වී කෙටීම වැනි අවස්ථා මීට නිදසුන් වේ. ගුරුසාමි වතුර ගෙන ඒම, බල්ලෙක් සපා කෑ පසු අසනීප වී ගෙදර පැමිණීම, බේත් හේත් කිරීම ආදී ප්‍රධාන අවස්ථා අභිරූපණ මඟින් ඉදිරිපත් කරනු ලබයි. රංග වස්ත්‍ර ලෙස සරල වෙස්මුහුණු භාවිතා කරයි. වේදිකාවේ ඇති එකම රංග භාණ්ඩය වංගෙඩියයි. සොකරිය අවසන් වන්නේ දරුවා ලැබීමෙන් පසු තමා දරුවා ලෙස රෙදිකඩකින් ඔතන ලද දඬුරුවක් ප්‍රේක්ෂකයන් වෙතට ගෙනගොස් තෑගි ලබාගැනීමෙනි. ඇය ප්‍රේක්ෂකයන් වෙත එනුයේ දරුවා සුරතල් කරමින් ගී ගයමිනි. 
 
 මෙහි යම් යම් ජවනිකා ගැමියන්ගේ සම්ප්‍රදායික සිතුම් පැතුම්, සමාජ අසාධාරණකම්ද නිරූපණය කරනු ලබයි. නාට්‍යයේ මූලික තේමාවට හානියක් නොවන පරිදි ගැඹුරු සමාජ හරයන්ද මතුකරනු ලබයි. ආරච්චිල ගසක් කැපීමට පගාවක් පිළිබඳ පරයාට කරනු ලබන ඉඟිය මීට නිදසුන්ය. එමෙන්ම සොකරි සමාජීය වටිනාකම් හා හරයන්ගෙන් යුත් ගැමි නාට්‍ය විශේෂයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017