ගමට, රටට සෙත්පතා පවත්වනු ලබන ගම්මඩු, දෙවොල් මඩු,පහන් මඩු පත්තිනි හා දෙවොල් දෙවිඳුන් ප්‍රමුඛ දෙවිදේවතාවන් වෙනුවෙන් පවත්වනු ලබන ශාන්ති කර්ම වේ. පත්තිනි දෙවියන් ප්‍රමුඛ දෙවොල් දෙවි, වාහල දෙවි, කතරගම දෙවි, මංගර දෙවි ආදී දෙවිවරුනට ආරාධනා කොට පොදුවේ වස්දොස් දුරු කොට සෙත්පැතීම හා අස්වැන්න, භවභෝග සම්පත් පැතීම, ගම් දනව් හරහා පැතිරී යන සරම්ප, පැපොල, වසූරිය වැනි සංක්‍රාන්ති රෝග සඳහා කරනු ලබන දේව පූජා විශේෂයකි.
කප් සිටුවීමෙන් අනතුරුව නියමිත දිනයේදී ගම්මඩු ශාන්ති කර්මය කරනු ලබයි. වචනාර්ථය අනුව ගමන නිමකෙරෙන මඩුවක කෙරෙන උත්සවය ගම්මඩුවයි. එහෙත් ගම්මඩුව එක ගමකට පමණක් සීමාවන්නක් නොවේ. තනි ගමක හෝ ගම් කීපයක පිරිසක් විසින් එකට එකතු වී විශාල මඩුවක තනිරැයක් හෝ රාත්‍රී කීපයක් තුළ මෙම දේව පූජා උත්සවය පවත්වනු ලබයි. මැල කැපීම, පහන් පූජාව, කාල පන්දම් පිහිටුවීම, පිදේනි දීම, බිසෝකප සිටුවීම, තොරණ් යාගය, පත්තිනි නැටුම, තෙල්මෙ නැටුම, වාහල නැටුම හා මැල පෑගීම කිරි ඉතිරවීමෙන් පසු කරනු ලබන ගරා නැටුමෙන් හා දෙවියන්ට පින්දී දානය පිළිගැන්වීමෙන් කෙළවර වේ.
ගම්මඩුව හා දෙවොල් මඩුව අතර ඇත්තේ සුලු වෙනස්කමකි. ගම්මඩුව ගමක් හෝ ගම් කීපයක් එක්වී දෙවියන් උදෙසා කරන පූජාවකි. දෙවොල් මඩුව තනි තනි පුද්ගලයන්ට හෝ පවුල් වලට සෙත්පතා කෙරෙන ශාන්ති කර්මයකි. ගම්මඩුවේ හා දෙවොල් මඩුවේ එන අඹවිදමන, මරා ඉපැද්දවීම, රාමා මැරීම දෙවොල්ගොඩ බැසීම ටන අංශයන්හි අනුකරණය, සමාරෝපය, දෙබස් හා සංවාද ටන නාට්‍යමය අවස්ථා විදහා දැක්වේ.
පහන් මඩුව පත්තිනි හා කතරගම දෙවියන් ප්‍රමුඛකොට දෙවියන්ට පූජා පිණිස ආලෝකයෙන් කරණු ලබන පූජාවකි. ඊට පහන් මඩුව යැයි කියන්නේද එහෙයිනි. මෙය යම් ප්‍රදේශයක පැතිරෙන පැපොල, සරම්ප, වසූරිය වැනි සංක්‍රාන්ති රෝග වැළැක්වීම පිණිස පවත්වනු ලබන ශාන්ති කර්මයකි. කප් සිටුවීමෙන් ආරම්භවන පහන් මඩුව කළහ, කහදිය කොතලය, අඟුරු දුම්මල කබල, පොල්ගෙඩිය, පිරුවටය, චාමරය, මුගුර යන හත්පදය නටා අවසානයේ හීන්තාලම නටනු ලැබේ. ඉන්පසුව පද නැටුම ඇරැඹේ. මල් පද දොළහ නටා අවසානයේ දුම්මල පද, දෙවොල් පද නටා ගිනි පාගා සෙත්කවි කීමෙන් අවසන් වේ.
කිරිමඩු යාගයේ දැකියහැකි පූජා විධි අතර පහන් දැල්වීම, තොට මෙට යාම (අඩුක්කු/මුරුතැන් පිසීම සඳහා පැන් ගැනීම) වී කෙටීම, මුරුතැන් පිසීම, යාදින්න, දොළහ දෙව් උපත, පත්තිනි තොරණට පහන් දැල්වීම. හත්පද පෙළපාලිය, කිරහැලිය ලිපේ තැබීම, නුගේ සැහැල්ල, කහමිශ්‍ර වතුර පොල්කිරි හැලියට දැමීම, කිරි ඉතිරවීම, කදුරු කොළ මත කිරිබත් පිදීම, ඇත්බන්ධනය, මී බන්ධනය, ආඬිගුරු නැටීම, දේවදානය, පඬුරු ඔප්පු කිරීම, සෙත් පැතීම ඒ අතර වෙසෙසින් සඳහන් කළ යුතුය.
පහන් මඩුවේද සතර අභිනය යොදාගැනීම, සමාරෝපය අනුකරණය, සංවාද වැනි නාට්‍යමය ලක්ෂණ දැකිය හැකිය. එසේ වුවද නාට්‍යමය ලක්ෂණ ගැන කතාකිරීමේදී කිරිමඩු යාගයේ එන ඇත් බන්ධනය, මී බන්ධනය, ආඬිගුරු නාඩගම මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතුය.