නාට්‍ය කලාව හා අනෙකුත් ප්‍රාසංගික කලා
 

ප්‍රාසංගික කලාව යනු ගායනය රංගනය හා චලනය පදනම් කරගෙන ශිල්පියාගේ පෞර්ෂය මැනවින් හසුරුවා ගනිමින් රංගභූමියක කෙරෙන නිරූපණ කලාවයි. කෙටි නිරූපණ අවස්ථා මගින් භාව ප්‍රකාශන හා අර්ථ ප්‍රකාශන දැක්වීම, ගායනයට, නර්තනයට විෂයානුබද්ධව ඇති සීමා ඉක්මවමින් ප්‍රකාශිත අර්ථය තීව්‍ර කිරීමට රූපණය යොදාගැනීම, හැඩ හා චලන සමූහ මගින් රංගභූමිය මත පෞරුෂය මනාව ප්‍රකාශවන නිරූපණය කිරීම මෙහි ඇති අනෙකුත් ලක්ෂණ වේ.

නර්තනය, සංගීතය නාට්‍ය මෙහි ප්‍රධාන අංගයන් වේ. මෙහිදී ශාරීරික චලන හා හැඩතල නර්තනයෙන්ද, හැඩ හා නාද රිද්ම සංගීතයෙන්ද, රූපණය හා රංග ශිල්ප නාට්‍ය කලාවෙන්ද ගෙන ඇත. ඒ අනුව බලනවිට ප්‍රාසාංගික කලාව මේ සියල්ලේ සංකලනයකි. නාට්‍යය, සංගීතය, නර්තනය මුද්‍රා නාට්‍යය, ඔපෙරාව සිනමාව ටෙලිනාට්‍ය මෙන්ම රූකඩද ප්‍රසාංගික කලාවන් වේ.

නාට්‍යයක් යනු පුවතක් රැඟුමක් ලෙසින් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමයි. රැඟ‍මක් නාට්‍යයක් වන්නේ සිව් වැඳෑරුම් අභිනයෙන් යුක්ත වීමෙනි. නාට්‍යයක් සම්පූර්ණ වන්නේ ලේඛකයකු විසින් රචිත පෙළ නළු නිළියන්, සංගීතඥයන්, වේශ නිරූපකයන්, ආලෝක ශිල්පීන්, රංගභූමි අලංකාරිකයන් ආදී පිරිස් වලට අයත් කාර්ය සාධනයෙන් යුක්තව ප්‍රේක්ෂකයන් ඉදිරියේ රඟපා ප්‍රදර්ශනය කළ කල්හිය. නාට්‍යය පූර්ණ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකි.

සංගීතයද ජීවමාන කලාවක් වේ. එහිලා නළුවන්ගේ තැන ගන්නේ ගායකයන් හා වාදකයන්ය. සංගීතයේදී නාට්‍යයක මෙන් කතාවක් නොමැති අතර එය ගොඩනැගෙනුයේ ගායන හා වාදන සමුච්චයකිනි. නාට්‍යය ප්‍රේක්ෂක පිරිසක් අපේක්ෂා කරනු ලබන අතර සංගීතය අපේක්ෂා කරනුයේ ශ්‍රාවක පිරිසකි.

මන්ද එය අසා රසවිඳින හෙයිනි. නාට්‍යයකට ශබ්ද විකාශය හා පරිපාලනය වැදගත් වුවද සංගීතයට එය අතිශයින් වැදගත් වේ. සංගීත ප්‍රසංගයකට වේදිකා සැරසිලි අත්‍යාවශ්‍ය නොවූවද වැඩදායක අයුරින් යොදගත හැකිය.

සංගීතය නාට්‍යයකට අත්‍යාවශ්‍ය නොවූවද අදාළ අවස්ථාවට හා ශෛලියට ගැලපෙන සේ සංගීතය යෝදාගැනීමෙන් නාට්‍යමය අවස්ථා තීව්‍ර කරගත හැකිය. සංගීත නාට්‍යය (Musical) සංගීත ප්‍රහසන (Musical Comedy) යනුවෙන් සංගීතයට මුල්තැන දෙමින් කරණු ලබන නාට්‍යය විශේෂද වේ. එසේ වුවද සංගීතයේ ප්‍රධාන මාධ්‍යය ශ්‍රව්‍යයි.

නර්තනයද ජීවමාන කලාවකි. නාට්‍යයේදී මෙන්ම නර්තනයේදී ද විවිධ මනෝභාවයන් ප්‍රකාශ කරනු ලබයි. නාට්‍යයේදී නළුවනට හිමිතැන නාට්‍යයේදී හිමිවන්නේ නර්තන ශිල්පීනටය.

නාට්‍යය එකිනෙකට සම්බන්ධ වී ඉදිරියට ගලායෑමක් සිදුවුවද නර්තනය ගොඩනැගී ඇත්තේ එකිනෙකට සම්බන්ධවීම අවශ්‍ය නැති නර්තාංග සමුච්චයකිනි. නාට්‍යයට මෙන්ම නර්තනයටද ප්‍රේක්ෂක පිරිසක් සිටීම අත්‍යාවශ්‍ය වේ.

නාට්‍යයේදී මෙන්ම නර්තන නිර්මාණයේදී ද රංග වින්‍යාසය වැදගත් වේ. නාට්‍යයේදී මෙන්ම නර්තනයේදී ද අභිනය යොදාගැනේ. ඇතැම් නාට්‍යය විශේෂයෙන් ශෛලිගත නාට්‍යය වලදී තාලවාද්‍ය භාණ්ඩ යොදාගත්තද නාට්‍යය සඳහා තාලවාද්‍ය භාණ්ඩ අත්‍යාවශ්‍ය නොවේ.

එහෙත් නර්තනය සඳහා තාලවාද්‍ය භාණ්ඩ අනිවාර්ය වේ. නාට්‍යමය අවස්ථා තීව්‍ර කිරීම සඳහා සංගීතයෙන් මෙන්ම නර්තනයෙන්ද නාට්‍යයට ප්‍රබල පිටුවහලක් ලැබේ.

මුද්‍රා නාට්‍යයද නර්තනයට මුල්තැන දෙමින් සංගීතයද අයත් වන සේ සැකසුණු ජීවමාන කලාවකි. මෙහිලා නළුවන්ගේ තැන ගනු ලබන්නේ නර්තන ශිල්පීහුය. මුද්‍රා නාට්‍යයේදී ගැයීමක් හෝ දෙඩීමක් සිදු නොවන අතර අංගික හා සාත්වික අභිනය ප්‍රබල වශයෙන් යොදාගැනේ.

සංගීතය හා රංගාවලෝකයද අතිශයින් වැදගත් වේ. නාට්‍යය මෙන් මුද්‍රා නාට්‍යයද ප්‍රේක්ෂක පිරිසක් අපේක්ෂා කරනු ලබයි. නාට්‍යය මෙන්ම මුද්‍රා නාට්‍යයද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි.

ඔපෙරාව යනු වාද්‍ය වෘන්දයක සංගීත සම්පාදනය සහිතව ගීත ගැයෙන උණුන් අතර සංවාදයක් තිබීමට වඩා ගී ගැයීමෙන් චරිත නිරූපණය කෙරෙන නාටක විශේෂයකි. සංගීතය, කාව්‍යය, නාට්‍යය හා නර්තනය යන චතුර්විධ අංග ඔපෙරාවක අනිවාර්ය ලක්ෂණ වේ.

මේ අතරින් වඩාත් වැදගත් වන්නේ සංගීතයයි. මෙහිදීද නාට්‍යයක මෙන්ම කතාවක් හෝ සිද්ධියක් නිරූපණය වන අතර ප්‍රේක්ෂක පිරිසක් අපේක්ෂා කරයි. නාට්‍යය මෙන්ම ඔපෙරාවද ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි.

සිනමාව ප්‍රාසංගික කලාවක් වුවද ඉහත දැක්වූ නාට්‍යය නර්තනය, සංගීතය මෙන් ජීවමාන කලාවක් නොවේ. එය කලින් රඟපා කපා කොටා සංස්කරණය කරන ලද පරිපූර්ණ නිර්මාණයකි. නාට්‍යය මෙන්ම සිනමා පටයකටද පෙළක්, කතාවස්තුත් ඇත. එය හුදු රූප මාධ්‍යයකි. රංගනය ස්වභාවිකය. සියුම්ය. සංගීතය ප්‍රබලව යොදාගැනේ. නළුවන් හා දර්ශන අධි ප්‍රමාණ ආදී වශයෙන් තිරය මත ප්‍රදර්ශනය කළහැකිය. නාට්‍යයට මෙන් රංගාවලෝකනය හා වේදිකා සැරසිලි අත්‍යවශ්‍ය නොවේ.





ටෙලිනාට්‍යයද සිනමාව මෙන් කලින් රඟපා සංස්කරණය කර නිර්මාණයකි. බොහෝවිට වෘතාන්ත වශයෙන් විකාශනය කෙරේ. ටෙලිනාට්‍යය බොහෝදුරට සිනමාවට නෑකම් කියුවද එහි තිරය හෙවත් දෘශ්‍ය පථය සිනමාවට වඩා පටුය. ගෙදර සිට නැරැඹිය හැකි හෙයින් අනෙකුත් සියළුම ප්‍රාසාංගික කලාවකට වඩා ජනතාවට සමීප මාධ්‍යයක් වී ඇත. එහි ජනප්‍රියතාවයද එයම හේතු වී ඇත. නාට්‍යය මෙන්ම ටෙලිනාට්‍යයද ඇසිදිසි මාධ්‍යයකි.

රූකඩද නාට්‍යය විශේෂයකි. එහෙත් එහිලා නළුවකුගේ වාචික හා සාත්වික අභිනයට තැනක් නැත. වාචික අභිනය ඉදිරිපත් කරන්නේ සූත්‍රධර විසිනි. ආංගික අභිනය යාන්ත්‍රික ස්වරූපයක් ගනී. රූකඩ මිනිස් රූපවලට වඩා බෙහෙවින් කුඩා වන හෙයින් රූකඩ නාට්‍යයක ප්‍රධාන ශිල්පියා සූත්‍රධරයාය. බොහෝ නාට්‍යමය අවස්ථා තීව්‍ර කිරීම සඳහා රූකඩ නාට්‍ය වලදීද සංගීතය යොදාගනු ලබයි.

(c) Shilpa Sayura Foundation 2006-2017