රංග භූමිය
 

නාට්‍යය රඟදක්වනු ලබන ස්ථානය රංගභූමියයි. භාරමුණි එය හඳුන්වා ඇත්තේ රංගපීඨ යනුවෙනි. රංගපීඨය, රඟමඩල, රංගභූමිය වශයෙන් හඳුන්වන පින්තූර රාමු වේදිකාව දක්වා විකාශනය වී ඇත.

දේශීය රඟමඩලේ විකාශනය ගතහොත් එහි මූලාම්භය ශාන්තිකර්ම සඳහා භාවිතාකළ අර්ධකවාකාර භූමියයි. මෙයින් පසුව එළැඹෙන ගැමි නාටක වලදී එය සාමාන්‍ය රඟමඩලක් ලෙස හැඳින්වෙන්නට විය. ජපන් නාට්‍යය මුල් අවස්ථාවේදී පෙන්වනු ලැබුවේ වියළි ගංගා තීරයක වූ එළිමහන් රංගපීඨයකය. පසුව එය නාට්‍ය ශාලාව දක්වා විකාශනය විය.


ග්‍රීක නාට්‍යය මුල් අවස්ථාවේ රංගගත වූයේ දියෝනිසස් දේවාලය අභියස වූ කඳුතලාවකින් වට වූ සමතලා බිමකය. මෙම මුල් වෘත්තාකාර රංගභූමිය පින්තූර රාමු වේදිකාව දක්වා විකාශනය වූයේ යුග ගණන් පසුකිරීමෙන් අනතුරුවය.

 



රංගභූමියක තිබිය යුතු ලක්ෂණ අතර රංගභූමිය සමතලා ප්‍රදේශයකින් යුක්තවීම, රඟපෑමට ප්‍රමාණවත් අවකාශයක් තිබීම. ප්‍රේක්ෂක පිරිසට පහසුවෙන් නැරැඹිය හැකි සේ පිහිටා තිබීම රංග ශිල්පීන්ගේ පහසුකම් වලින් යුක්තවීම ආදිය වේ. 

 

රංගභූමි මූලික වශයෙන් එළිමහන්, ගෘහස්ථ වශයෙන් කොටස් දෙකකට බෙදේ. කවාකාර (ඇරීනා) අර්ධකවාකාර, පින්තූර රාමු හෙවත් ආරුක්කු ග්ලොබ්, කැරකෙන වේදිකාව වශයෙන් විවිධ රංගභූමි දැකිය හැකිවේ නූතන රංග භූමිය ප්‍රධාන වශයෙන් කොටස් නවයකට බෙදේ. උඩු දකුණ, උඩු මැද, උඩු වම, මැද දකුණ, මැද මැද, මැද වම, යටි දකුණ, යටි මැද, යටි වම ඒ කොටස් නවයයි. මෙසේ රංගභූමියේ භූගෝලය කොටස්වලට වෙන් කිරීමේ පරමාර්ථය වනුයේ නළුවාට තම රංග කාර්යය පහසු කිරීමයි.















උඩු වම උඩු මැද උඩු දකුණ
මැද වම මැද මැද මැද දකුණ
යටි වම යටි මැද යටි දකුණ



භූමිකාව හා පරිසරය අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දියුණු කෙරෙමින් තම භූමිකාව නිසි අයුරින් හැසිරවීමට භූගෝලීය වශයෙන් කරනු ලබන කොටස් කිරීම උපකාර වේ. එමෙන්ම අනෙකුත් ශිල්පීන්ටද තම කාර්ය මැනවින් ඉටුකරලීමට රංගභූමිය බෙදා දැක්වීම වැදගත් වේ


(c) Shilpa Sayura Foundation 2006-2017