අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල් කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
කසේ සැමිටි වේවැල් ඉරටු ගෙන අතේ
ඇසේ කඳුළු අකුරට ගිය කලට ගතේ
බසේ මියුරු තෙපලති දෙගුරු සවනතේ
දසේ පසේ ගෙඩි දෙති පිටට එක රසේ
වේවැල් කෝටු නාරන් සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු
මෙහැම ඉපල් මගෙ දැසට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු
පොල් ඉරටේ අත තදකර ගති ම්මා
ඉන් ඔළ මොළ කමකට සිත නොය ම්මා
දැන් නිසලව ඉඳ අකුරුත් කිය ම්මා
ඉන් අප දඟ ගේක ලු දැය අ ම්මා
අම්මොයි කියා ගෑ සියොලඟ තෙල් රුවට
යම්මොයි කයි යති අකුරට ගුරුන් ගෙට
බම්මොයි කියා බස් තෙපලති විටින් විට
අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැට
රුප්පා වල ඉඳ කෙළිනා දවස් දැඩී
තැප්පා සේම ගිනි උසුලද්ද මැඩි මැඩී
අප්පා උකුල ඉඳ තෙපලන බස්‌ම දැඩී
අප්පා බලා උන්නත් වළකීද ගෙඩී
ගණදෙවි කෝවිල පිරිබඩ ලන්නේ
දත මැද පිරුවට ඇඳ පේවෙන්නේ
කළ කී දේ මට සාදා දෙන්නේ
පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ
කිරි දී වෙඬරුද පස්‌ගෝ රසිනා
උඳු මුන් තල මෑ කරලින් සොබනා
මේ නම් කැවුමෙන් නිති පුද ලබනා
දෙන් මට නුවණක් ගණදෙවි යෙහෙනාඅඹ දඹ ඇටඹද කරඹද පුදමී
ඔලු පළු ලාදළු ගිවුඵද පුදමී
අතිරස අග්ගල අත්සුනු පුදමී
ගණදෙවි නුවණක් දුන් පා වඳිමී
පුදා විළඳ අතිරස කිරිබත් සකුරූ
සදා මල් බුලත් පුවකුත් ලා කපුරූ
වී දා වතක් සොඳ අඳවා ගුරු ඇඳුරූ
මෙදැන කළෝතින් වැඩ වෙයි සව් ඉසුරූ
![](/sayura/images/logo2.png)