පේ‍්‍රම දේශපාලන කවි
 

තාත්තා කවිය කෙරේ ඇල්මක් දක්වා තිබෙන්නේ කුඩා කාලයේ සිටමයි” මාලිනී කියන්නීය.

සාගර පලන්සූරිය හෙවත් කේයස් කවියා ගැන නො ඇසූ කෙනෙක් නැත. ඔහු වරක් මහජන එක්සත් පෙරමුණේ අපේක්‍ෂකයා ලෙසින් හොරණ ආසනය දිනා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයෙක් ලෙස ද තේරිණ. සෝමවීර කුඩා කළ අධ්‍යාපනය කළ මොරටුව වේල්ස් කුමර විදුහලේ ගුරුවරයකු ලෙස කටයුතු කරද්දී සෝමවීරගේ ශිෂ්‍ය අවදිය ගැන විදුහලේ ගුරුන් - සිසුන් අතර පවතින කතාවක් කේයස් මෙසේ සඳහන් කර තිබිණි.

පන්තියේ ගුරුවරයකුගේ ඉගැන්වීම සෝමවීරට තේරුණේ්නැත. ගුරුවරයා එහාට මෙහාට වුණු මොහොතක රට හුණු කැටයකින් සෝමවීර කළු ලෑල්ලේ කවියක් ලීවේය.

”ඉරි අඳිතෙයි මකාලතෙයි

මට කියතෙයි නොතේරෙතෙයි”

කවිය දුටු ගුරුවරයාට යකා නැංගේය. තවත් ගුරුවරයකුට මෙය පෙන්වූවේය. ඔවුන් තීරණය කළේ මෙය ගුරුවරයාට අපහාස කළ මුරණ්ඩු කි‍්‍රයාවක් බවය. සෝමවීරට පාසලින් දඬුවම් ලැබිණි.

පසු කලෙක කවි කොළකාරයන්ගේ හා කවි පොත් කාරයන්ගේ කවිය කෙරේ ඔහුගේ සිත ඇදී ගියේය.

ඔහු ද කවිකාරයෙක් වෙන්නට සිතා ගත්තේ ය. ඒ සඳහා උත්සාහ කළේය. කවි කොළ කාරයෝ ගරුත්වයෙහි තබා ගෙන කවි හදන්නට වෑයම් කළේය. සෝමවීර මුලින් ම කවි කොළයක් රචනා කළේ කැස්බෑවේ සුරාබදු නිලධාරීන් මරා දැමීමේ සිද්ධියක් ගැන ය. එය “කැස්බෑවේ මිනීමැරුම” නමින් ප‍්‍රසිද්ධ වූ සිද්ධියකි.

සිරිත් සපිරි වන සිරි ලංකාවේ – කැස්බෑවේ යන ගමෙහි මනා

කණෙන් අසන විට පපුව කකියවන – මරණ දෙකක් අහෝ ! සිද්ධ වුණා”

මේ කවි පන්තිය ලීමෙන් ඔහු මහත් සතුටට පත්විය.

සෝමවීර පන්තියේ උගන්නා අවදියක “සෝලිපප්පා’ යනුවෙන් ළමුන්ගේ විහිලුවට පත් ගුරුවරයෙක් විය. ඔහුට උම්බලකඩයා යැයි ද කීවේලු. සිංහලෙන් කතා කළා යැයි දිනක් ඔහු සෝමවීරගේ අතට අඩි රූලෙන් ගැසුවේය. සෝමවීර කළු ලෑල්ලෙහි මෙසේ ලීවේය.

”ඉංගිරිසියම වෙහෙසෙන රජ කරවන්ට

සිංහල විස මොකද “උම්බලකඩය න්ට”

කවිය දුටු ගුරුවරයා කිපුණේය.

සෝමවීර පසු කලෙක මහනුවර ඥාති ගෙදරක නැවතුණේය. ඒ පරිසරය ඔහු ගේ කවීත්වයට වඩා මානසික පසුබලයක් ඇති කර දුන්නේය. ඔහු ගැටඹේ පන්සල සමග දැඩි ඇසුරක් ඇති කර ගත්තේය. ගැටඹේ පන්සලේ හාමුදුරුවන් වෙතින් සිදත් සඟාව කියවා ගත්තේය.

අත්තිඩියේ කේ. වී. බී. අදිකාරම් මහතාගේ “කව් කිරුළ” සඟාව ඔහුට හමුවිය. සෝමවීර එයට කවි ලීවේය. ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ මුල් කර ලියූ කවි පෙළක් එහි පළවිය. ඒ ඔහුගේ මුද්‍රණයෙන් පළවූ පළමු කව් පෙළය.

පියදාස සිරිසේන – ආනන්ද රාජකරුණා ආදීන්ගේ පුවත්පත් - සඟා ආදියට ද කවි ලියන්නට පටන් ගත්තේය.

මහනුවරදී කඳුකර තරුණියකට ආලයෙන් බැඳුණු සෝමවීර ශෘංගාර රසයෙන් කවි ලියන්නට විය. ආලය බිඳ වැටිණි. පසුව සෝමවීර “වසන්ත තිලකා” වෘත්තයෙන් “සාධු ගීතිකා” නමින් කවි පොතක් ලීවේය. පොත පිළිගන්වන ලද්දේ තුඩාවේ පණ්ඩිත ගුණවර්ධන මහතාටය.

පෙ‍්‍ර්ම කවි, දේශපාලන කවි ආදියට පෙළඹුණු සෝමවීර විවිධ මාතෘකා යටතේ කවි ලියන්නට විය. ඔහු දැන් ප‍්‍රසිද්ධ කවියෙකි. ලක්මිණ පත‍්‍රයේ උප කතුවරයකුව සිටියදී හිටිවන කවියට යොමුවීම නිසා මගුල්, මරණ, පිංකම්වලදී පවා කවි කියන්නට ඔහුට සිදුවිය.

හිටිවන කවිය වෙනුවෙන් සෝමවීරට මේ කාලයේ නම්බු නාමයක් ද පිරිනැමුණේය. ඒ අම්බලන්ගොඩ රන්දොඹේ මහා ෙච්තිය පිරිවෙනේදීය. අමරපුර චූලගන්ධි නිකායේ මහා නායක වූ ඒ. ගුණතිලක හිමියන් අතින් ඔහුට එය පිරිනැමිණි. පිළිගැනීමේ උත්සව කිහිපයක් ද මේ වෙනුවෙන් පැවැත්විණි.

නම්බු නාමය බාරගැනීම මෝඩ වැඩක් යැයි පසුව සෝමවීර කීවේය.

දැන් සෝමවීර ප‍්‍රසිද්ධ කවියෙකි. කථිකයෙකි. සමිති සමාගම්වලින් මුදල් පවා ගෙවා ඔහුට ගෙන්වා ගැනීමට බොහෝ අය උනන්දු වූහ. ගාල්ලේ ධර්මපාල උත්සවය නමින් සල්පිලක් ද පැවැත්විණි. ඒ ධර්මපාල තුමා සිහි කිරීමටය. සෝමවීරට කවි කතාවක් කරන්නට සිදුවිය.

කවි කතා යනුවෙන් දෙයක් ඊට පෙර නොවිණි. සිංහල කවියකු විසින් සිංහලෙන් පවත්වන ලද ප‍්‍රථම කවි කතාව එය ලෙස ඉතිහාසයට එක්වෙන්නේය. සෝමවීරට කියන කියන හැම කවියක් ගානේම අත් පොළසන් ලැබිණි. ඔහු කවි කතාව පටන් ගත්තේ මෙසේය.

තරෙඟට රළ පෙරළි පෙරළි හඬ දෙන මහ සයුරෙ ඉන්දි

මුතු ඇටයකි යන උවමක් පෙර සැම දන තුඩග රැන්දි

මෙලකට වගකීම රඳන ගුණ මිණි වැල් ගෙලෙහි බැන්දි

මගෙ සෙට සිංහල සුදනෙනි ! මොහොතක් මෙය අසනු කන්දි

මේ ලෙසින් කවිය කෙරේ දැඩි ඇල්මකින් හා භක්තියකින් කටයුතු කළ සෝමවීරට ඒ කාලයෙහි නම පතළ වූ බොහෝ කවි කිවිඳියන් හඳුනා ගන්නටද ලැබුණේය. ඒ කාලයේ සෑම ක්‍ෂේත‍්‍රයකට ම සංවිධානයක් විය. නොතිබුණේ කවියට පමණි. කවීන් වෙනුවෙන් සංවිධානයක් ඇති කළොත් එය විශාල මෙහෙයක් වනු ඇතැයි සෝමවීරට සිතුණේය.

සිංහල කවීන් අතර සමඟියක් ඇතිකොට සියලු දෙනා එක්කොට සිංහල කවි සම්මේලනය නමින් සංවිධානයක් සෑදීමේ අදහස ඔහුට ඇතිවිය. ඔහු මේ සඳහා යෝජනාවක් කරමින් එකල විශාල ලෙස අලෙවි වූ “ස්වදේශ මිත‍්‍රයා” පුවත්පතට කවි පන්තියක් ලීවේය.

තරුණ කවීන්ගෙන් එයට විශාල ප‍්‍රතිචාර ලැබිණි. 1931 සැප්තැම්බර් 12 දා මොරටුව රාවතාවත්ත සුධර්මා ශාලාවේදී පණ්ඩිත තුඩාවේ ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මූලික රැස්විම පැවැත්විණි.

සෝමවීර එහි සම්පාදක ලෙසට පත්විය. ස්වදේශ මිත‍්‍රයා පත‍්‍රයෙන් කවි සම්මේලනය සඳහා විශාල රුකුලක් දුන්නේය. “මිත‍්‍රයාගේ කවිකාර මඩුව“ නමින් එම පත‍්‍රයේ කවීන් සඳහා වෙනම පිටුවක් වෙන්කර තිබුණේය.

සෝමවීර සිංහල කවි සම්මේලනය ආරම්භ කරන්නට මෙසේ පියවර ගත් නමුත් ඒ කාලයේ නමක් තිබූ වැඩිහිටි කවියෝ නැතහොත් “මහා කවියෝ” එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඒ කාලයේ මහා කවියන් ලෙස සිටියේ ආනන්ද රාජකරුණා, බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා සහ ගම්පහ ජේ. පී. වික‍්‍රමතිලක තිදෙනා පමණි.

කවි සම්මේලනයට නව පණක් දෙන්නට නැවත රැස්වීමක් කොළඹ ආනන්ද මහා විද්‍යාලයට කැඳවිණි. මහා කවීන් තිදෙනාගෙන් එයට පැමිණියේ ගම්පහ වික‍්‍රමතිලක රාළහාමි පමණි. දිනමිණ පත‍්‍රය සම්මේලනයට එරෙහිව බොහෝ දේ සඳහන් කර තිබිණි. දිනමිණේ පළවූ දේවල් නිසා සිත් කළකිරුණු තුඩාවේ ගුණවර්ධන මහතා ලියුමක් ලියා සම්මේලනයෙන් අස්විය. පසුව රැස්වීමක් පවත්වා ආනන්ද රාජකරුණා කවියා සභාපති ලෙස පත් කර ගැනිණි. පසුව බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා මහතා ද ඊට සම්බන්ධ විය. සිංහල කවි සම්මේලනයට වසරක් පිරීම නිමිත්තෙන් පළමුවැනි සම්මේලනය හික්කඩුවේදී පැවැත්විණි.

ඒ හික්කඩුවේ ශී‍්‍ර සුමංගල නාහිමියන්ගේ නාමය අනුස්මරණය කරමිනි. දින තුනක් පුරා ගරු ගාම්භීර ආකාරයෙන් උත්සවය පැවැත්වීමට සෝමවීරට හැකි වූයේ ඔහු එහි ගොස් වලල්ලාවිට කෝරළයේ මහත් තේජස් පතුරාගෙන තේජවන්තයකු ලෙස ප‍්‍රසිද්ධව සිටි වනිගතුංග මුදලි හමු වී ඔහුව කැමැති කරවාගෙන විය පැහැදම් කරවා ගැනීම නිසා ය. චිත‍්‍ර ප‍්‍රදර්ශනයක්, දුර්ලභ වස්තු ප‍්‍රදර්ශනයක් හා කවි මඩුවක් ද මෙහිදී පැවැත්විණි. මෙහිදී යෝජනා තුනක් සෝමවීර සම්මේලනයට ඉදිරිපත් කළේය. ඒවා සියලු දෙනා ගේ අත් එසවීමෙන් සම්මත විය.

දිණමින

(c) Shilpa Sayura Foundation 2006-2017