මේ ලෙස වීයේ දහ අට වන්නම
 

මේ ලෙස වීයේ දහ අට වන්නම
සක්දෙවිඳුන්ගේ දක්‍ෂිණාවෘත්ත මංගල සංචයෙහි නාදය අනුකරණ ගාහන වන්නම, රජුගේ මඟුල් ඇතුගේ උදාර ගමන් විලාසය වර්ණනා කරන ගජගාවන්නම, සටන්බිමට වන් මංගල තුරඟාගේ ගමන් විලාසය අනුකරණය කරන තුරඟා වන්නම, උරගා ගේ ගති පැවතුම් ගෙන හැර පාන උරඟා නොහොත් නාගා වන්නම, සාවාගේ ගති පැවතුම් අලලා සැකසුණ මුෂලාඩි නොහොත් සස වන්නම, උකුසාගේ දිවි පැවතුම් විස්තර කෙරෙන උකුසා වන්නම, ඊශ්වර දෙවියන් හා මහා පෘථුවිය අතර වූ සංවාදයක ආදෘසය අනුව ප‍්‍රබන්ධවූ වෛරෝඩී වන්නම, වඳුරාගේ ඉරියවු විදහා දක්වන හනුමා වන්නම, අලංකාර මොනරා වර්ණනා කරන මයුරා වන්නම, සැවුලු උපත ගැන කියවෙන සැවුලා වන්නම, සිංහයාගේ සාඩම්බරත්වය ගැන කියවෙන සිංහරාජ වන්නම, නාගයාගේ නැටුම් විලාසය ගෙන හැර පාන නෛඅඩි වන්නම, කිරළකුගේ හැඬුම් විලාසය අනුව සැකසුණු කිරලා වන්නම, යුධ හේවායෙකු වර්ණනා කෙරෙන ඊරඩි වන්නම, ඊශ්වර දෙවියන්ගේ ස්වභාවය අලලා සැකසුණු සුරපති වන්නම, ගණ දෙවියන්ගේ ගති ගුණ අලලා නිමවුණු ගනපති වන්නම, රජුගේ උදාරත්වය ගැන කියවෙන උදාර වන්නම හා අසම සම තෙරුවන් ගුණ අලලා සැකසුණු අසදෘස වන්නම ආදී ලෙසින් වන මේ දහ අට වන්නම නැමති අපූර්ව කාව්‍ය නිර්මාණයේ උපත අදින් වසර 300 කට පමණ පෙර එනම් ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍ර සිංහ නරේන්ද්‍රයාගේ පාලන කාලයෙහි මල්වතු විහාරයෙහි භික්ෂූන් වහන්සේ නමකගේද සහාය ඇතිව ගණිතාලංකාර කිවිඳුන් අතින් සිදු වූ බව ජනප‍්‍රවාද පවසයි.

එසේ වුවද වන්නම් යනු හුදෙක්ම ඉන්දීය වර්ණම් වල අනුකරනයන් මිස අනෙකක් නොවේයැ යි පවසන පිරිස්ද වෙයි. පැරණි සිංහලයෝ ඉන්දීය සංස්කෘතියෙන් යම් යම් ආභාසයන් ලබාගත් බව සත්‍ය වන නමුත් ඔවුන් එලෙස ලබාගත් දැනුමට ජාතික මුහුණුවරක් දී ඒවා තමන්ගේම නිර්මාණ බවට පත් කොට අප සංස්කෘතියට අවශෝෂණය කරගත් බවද මතක තබාගත යුතුය. වන්නම් සම්බන්ධයෙන්ද සිදු වූයේ මෙයයි.

අප පැරණ්නන් වන්නම් සකස් කළේ ද්‍රවිඩ වර්ණම් අන්ධානුකරණයෙන් අනුකරනය කොට නොව ඒවායේ තාලස්වරූපය පමණක් ගෙන ස්වකීය පරිසරයට අනුකූල වන පරිදි ජාතික හා ආගමික පුවත් අලලා තම නිර්මාණයන් ලෙසය. එසේම ද්‍රවිඩ වර්ණම් අතර දක්නට නොලැබෙන අපේම වූ තලස්වරූප මෙන්ම පැරණි සිංහල විරිත් ද මේ සඳහා උපයෝගී කොටගත් බැවු දැකිය හැක.

මේ වන්නම් දහ අට පැරණි පද රචකයෙකු විසින් හඳුන්වන්ට යෙදුනේ පහත පරිදිය.

වන්නම් දහ අට රාගතමයි පවසන්නේ
මහතුනේ අසන්නේ
තොන්නම් තරිකිට වන්නම් පදබැඳි සන්නේ
මා අතින් අසන්නේ

ඉන්නම් සැමතැන බලාන සමතු ලෙසින්නේ
සිටියට නැත දන්නේ
වන්නම් මඳකින් පවසම් දැනෙන ලෙසින්නේ
මතුවට පවසන්නේ

පළමුව ගාහක වන්නමටයි පවසන්නේ
පිළිවෙල අහපන් නේ
දෙවනුව ගජබා වන්නමටයි පවසන්නේ
මේ සැටි දැනගන් නේ

තුන්වෙනි තුරඟා වන්නමටයි පවසන්නේ
කිවිඳුනේ අසන් නේ
සිව්වෙනි උරඟා වන්නමටයි පවසන්නේ
සබෙ සැවොම අසන් නේ

පස්වෙනි මුෂලඩි වන්නම කියතී, සයවෙනි
උකුසා වන්නම කියතී
සත්වෙනි වෛරොඩී වන්නම කියතී, අටවෙනි
හනුමා වන්නම කියතී

නමවෙනි මයුරා වන්නම කියතී, දසවෙනි
සැවුලා වන්නම කියතී
චේකලොස සිහරජ වන්නම කියතී, දොළසට
නෛඅඩි වන්නම කියතී

දහතුන කවිකී කිරළා වන්නම -
දහහතරට කී ඊරඩි වන්නම
පසලොස කවිකී සුරපති වන්නම -
දහසය කවිකී ඝණපති වන්නම

දහහත පරසිඳු උඳ්‍රර වන්නම -
දහ අට කවි කී අසදිය වන්නම
යොදා මෙලෙස පිළිවෙල දැන, කවි පවසන්නේ
ඇඳුරනි දැන ගන්නේ

නිදා නොසිට සබයට පැමිණි, මෙලෙසින්නේ,
පෙර වදන් කියන්නේ
බින්නෙන් බොරුවෙන් සත්ත කියා සිට
පැන්න නමුත් ඇවිදින් කවි තර ගෙට
පෙන්නවමින් කවි දන්නා පම ණට
ඔන්න මෙකවි පද වන්නම් දහ අට

මේ වන්නම් දහ අටට අමතරව පසු කාලයේදී නොයෙක් නොයෙක් අංශයන් ඛ්ඹ් විහිදී යන ලෙසින් කිවිඳුන් අතින් වන්නම් රචනා වී ඇත. මීට හොඳම උදාහරණයක් ලෙස ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මහබෝ වන්නම, අරිසෙන් අහුබුදු ශූරීන්ගේ සමනළ වන්නම ආදිය දැක්විය හැකිය.

හෙළ ඉසුරු

(c) Shilpa Sayura Foundation 2006-2017