ආනන්ද සමරකෝන් පිළිබඳ මතක සටහන්
 

පුංචි දවස්වල සව් කඩදාසි කෑල්ලක් තොල්පටවල රඳවා පිඹිමින් සංගීතයක් පිට කිරීමට ඔහු පුරුදු විය. මේ පුරුද්ද දුටු වැඩිහිටි ඥාතියෙක් ඔහුට මවුත් ඕගනයක් තෑගි කැර ඇත. එදා සිට මේ දරුවා දවස ගෙවූයේ මවුත් ඕගනය දෙතොල රඳවාගෙනය. ඒ නිසා ඔහුගේ දෙතොල තුවාල විය.

ආනන්ද සමරකෝන් නම් ඒ මහා කලාකරුවා කුඩා වියේ සිටම සංගීතයට ලැදි බැව් ඇඟවෙන එක් අපූරු අවස්ථාවකි ඒ.

එපමණක් නොව සංගීතයට ලැදි සිය පියා (සැමුවෙල්) ඉදිරියේදි කුඩා ආනන්ද සමරකෝන් ප‍්‍රවීණ සංගීතඥයකු ගෙන් නියත වියරණ ලැබීය. ඒ රූපසිංහ මාස්ටර් ගෙනි.

පියා සාදිරිස් මාස්ටර් සහ රූපසිංහ මාස්ටර් සමඟ තබ්ලාව වයමින් විනෝද වූ දවසක වයලීනය රැගෙන එන ලෙස ආනන්ද නම් පුංචි කොලු පැටියාට අණක් ලැබිණි. කුඩා දරුවා වයලීනය රැගෙන ආවේ තත් මත ඇඟිලි තුඩු මෙහෙයවමිනි.

තත්මත ඇඟිලි රැඳුණු ආකාරය දුටු රූපසිංහ මාස්ටර් විමතියට පත්විය. ආනන්ද ගේ පියා අමතා "සැමි කවද හරි තමුසෙගෙ කොල්ලා ලංකාවේ ලොකුම සංගීතඥයෙක් වෙනවා" යැයි ඔහු එසැනින් කීවේ අනාගතය ඉවෙන් දුටු අයුරිනි.

නිදහස් දිනය සමඟ නිබඳව අපගේ සිහියට නැඟෙන ජාතික ගීයේ නිර්මාතෘවරයා වන ආනන්ද සමරකෝන් ගීත රචනය, සංගීත නිර්මාණය පමණක් නොව චිත‍්‍ර ශිල්පයට ද මහත් කුසලතා පෑ අසමසම කලාකරුවෙකි.

ශී‍්‍ර ලංකා මාතා
අප ශී‍්‍ර ලංකා
නමෝ නමෝ මාතා



ලොකු - කුඩා අප හැමගේ මුවග රැඳුණු මේ උදාර ජාතික ගීය පසුපස කතාව ද රසවත්ය.

ඔහු ඒ පිළිබඳ මතක සටහන් තබා ඇත්තේ මේ අයුරිනි.

“1940 ඔක්තෝබර් 20 දා සවස ගෙදර ගියෙමි. මගේ උපන් දේශය කෙරේ, මා සිත බැඳුණු උදාර සිතුවිලි හා සෞන්දර්ය කෙළවරක් නැත. මම කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි.

රාති‍්‍ර 10 ට පමණ සිය පහන නිවා කළුවරේ කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් මෙන් "නමෝ නමෝ" ගීතය මනසේ සටහන් විය. පසුදා උදේ එය ලීවෙමි"

ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස කටයුතු කළ ඔහු පසුවදා මේ ගීය පියානෝව වයමින් සිසු දරුවන්ට කියා දුන්නේය.

ඔහු රචනා කළ මෙ දේශාභිමානී ගීතය, එම විද්‍යාලයේ සිසුන්ට ඉගැන්වූ පසු ගීත පොතකට ඇතුළත් කෙරුණි. ඒ ඔහු විසින් රචනා කරන ලද "ගීත කුමුදුනී" නම් පොතටය. මේ කෘතියට ඔහු දේශාභිමානී ගීත රැසක් රචනා කළේය.



ඔහු මොහොතකටවත් නොසිතූ දෙයක් සිදුවිය. ටික කලෙකට පසු ඔහු රචනා කළ මේ ගීතය කමිටුවක් මඟින් තෝරාගන්නා ලදුව, නිදහස් දින උලෙළකදී ප‍්‍රථම වරට ගායනා කෙරිණි. ඒ 1949 වසරේදීය. කොළඹ මියුසියස් බාලිකා විද්‍යාල සිසුවියෝ "නමෝ නමෝ මාතා" යනුවෙන් එසේ සාමුහිකව ගැයූහ.

ඔහු විසින් රචනා කරන ලද එම "නමෝ නමෝ මාතා" ගීතය පසු කලෙක, "ශී‍්‍ර ලංකා මාතා" යනුවෙන් ලංකාවේ ජාතික ගීය ලෙස එවක රජය විසින් තෝරා ගන්නා ලදි.

ඉන් අනතුරුව 1951 වසරේ සිට නොකඩවා සෑම නිදහස් දින උලෙළකදීම මේ ගීතය, ගායනය කෙරිණි.

ජාතික ගීයේ ඉතිහාසයේ වගතුග සොයා යන ගමනේදී මේ උසස් නිර්මාණය දැයට තිළිණ කළ ඒ සෞන්දර්යවේදියා ගේ ජීවන ගමන ද අමතක කළ නොහේ.

1911 ජනවාරි 11 වැනි දින පාදුක්කේ වටරැක ලියන්වල නම් ගමේ දී ආනන්ද සමරකෝන් උපත ලැබීය. ඔහුගේ පියා සැමුවෙල් සමරකෝන්ය. මව ඩොමින්ගා පීරිස් වූවාය.

පිරිමි දරුවන් හතරදෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නා ආනන්ද සමරකෝන්ය. ඔහු කුඩා කාලයේ සිටම කලාවට ඇල්මක් දක්වා ඇත. එනම් උපතින්ම සමරකෝන් හට සංගීතය පිහිටා තිබුණි.

ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල වෑවල ගමේ පිහිටි රජයේ පාසලෙනි. ඒ වන විට ඔහුට වයස අවුරුදු 8 ක් පමණ විය. ඔහුගේ් නෙත ගැටෙමින් සොබා සෞන්දර්යයේ සිරි විඳ ගනිමින් පළමුව ගීතයක් ලියුවේත්, ලියා ගැයුවේත් වෑවල රජයේ පාසලෙහි කුඩා පංතිවල ඉගෙනුම ලබන කාලයේදීය.

කුඩා සමරකෝන් තමාට අපි‍්‍රය වූ ගණිත පාඩම වේලාවේ දී ගණිත පොතේ ගීයක් ලියුවේ පාසල අසලින් ගලා යන වේරැහැර ගඟ සිහි කරමිනි. මෙහිදි ගණිත පාඩම වේලාවේ බාහිර වැඩක නිරත වීම හේතු කොට ගෙන ගුරුවරයාගේ ඇනුම් බැනුම් වලටද ලක් විය.

සමරකෝන් නැගු සිතුවම්


ඉන් නොනැවතුණ ගුරුතුමා කුඩා සමරකෝන් හට තමා ලියූ ගීතය පංතිය ඉදිරියේ හඬ නඟා ගායනා කරන ලෙස දඬුවමක් පැනවූයේය. ගීතය ගැයීමෙන් ගුරුවරයාගේ කෝපය නැති කිරීමට කුඩා සමරකෝන් දරුවා සමත් විය. ඒ ඔහු කලාවට සම්බන්ධ වූ ප‍්‍රථම අවස්ථාවයි.

තරුණයෙකු ලෙස 1934 ඉන්දියාවේ "ශාන්ති නිකේතන විශ්ව භාරතී" විද්‍යාලයට ඇතුළු වූ ඔහු සංගීතයත් චිත‍්‍ර ශාස්ත‍්‍රයත් හොඳින් ප‍්‍රගුණ කළේය. රාගධාරි සංගීතයේ ද රවීÁද්‍ර සංගීතයේ ද මනා ආභාෂය ලැබුවේය.

ලංකාවට පැමිණ අප දේශයටම ආවේණික වූ ස්වතන්ත‍්‍ර සරල ගීත ශෛලියක් හඳුන්වා දුන්නේය. "පුදමු මේ කුසම්, බැස සීතල ගඟුලේ, විලේ මලක් පිපිලා කදිමයි, පුංචි සුදා සුදු කැටියා, ඇසේ මධුර ජීවනයේ ගීතා, සරු සාර කෙතේ, එන්ඩ ද මැණිකේ මමත් දියඹටා, වරෙං හීන් සැරේ, පොඩිමල් එතනෝ, සුනිලේ ගුවනේ පායා, අක්කේ අක්කේ අර බලන්නකෝ" වැනි ගීත ඒ සඳහා කදිම නිදසුන්ය.

ජන ගී ආරයෙන්, සංවාද සහිතව නිර්මාණය කොටගත් මේ ගීතවලින් එවකට පැවති සිංහල සංගීත රටාව නව මඟකට අඩි තාලම දැමීය.

චිත‍්‍රපට සඳහා ගීත රචනයෙන් ඔහු නොයෙක්වර දායක විය. 'සුජාතා' චිත‍්‍රපටයේ එන "මන රංජන දර්ශනීය ලංකා" "සැඩ සුළං" හී "ශී‍්‍ර ලංකා මා පි‍්‍රයාදර ජයභූමි" "ඉදිරියට යමු සැවොමා" "පෙම් කැකුළ පිපී එනවිට මහදේ" "ජීවන මේ ගමන සංසාරේ" වැනි ගීත රැසක් අදටත් ජනපි‍්‍රයය.

අම්බලන්ගොඩ ධර්මාශෝක, ගාල්ලේ මහින්ද විද්‍යාලය, කොළඹ ආනන්ද බාලිකාව, මාතර සුජාතා විද්‍යාලය, කොළඹ ආනන්ද, නාලන්දා වැනි විද්‍යාල රැසක ද චිත‍්‍ර සංගීත ගුරුවරයකු ලෙස සේවය කළේය.


සිරිල් වික‍්‍රමගේ


වික්ටර් බණ්ඩාර



නාරද දිසාසේකර



සුනිල් සමරකෝන්






ඔහු මෙරටට අග‍්‍රගණ්‍ය ගෝලයින් රැසක් දායාද කළේය.

සී ද එස් කුලතිලක, සරත් ප‍්‍රනාන්දු, අමරදේව, ආනන්ද තිස්ස ද අල්විස් ඒ අය අතර වූහ. ඒ අතර ඔහු විසින් ලංකාදීප, ජනතා, සිළුමිණ ආදී පුවත්පත් වල සැපැයූ ලිපි රැසකි.

ස්වර ලිපි සහිත ළමා ගීත සියයකටම ආසන්න සංඛ්‍යාවක්, පුවත්පත්, සඟා කෘති සඳහා සම්පාදනය කළේය.

අමරණීය කලා නිර්මාණ රැසක්, ඉතිරි කොට අනපේක්‍ෂිත මොහොතක (1962 වසරේදී) මොලොවින් සදහටම සමුගත් ආනන්ද සමරකෝන් ගේ සමීපතමයන් කීපදෙනෙක් ද ඔහුගේ ජීවිතය හා බැඳි වැදගත් තතු හෙළි කරන්නට අප හා එක්වූහ.

මුලින්ම ඒ මතකය අවදි කළේ රංගන ශිල්පී, සිරිල් වික‍්‍රමගේය.

සමරකෝන් මහතා මුලින්ම මම හඳුනාගත්තේ "ශී‍්‍ර ජයනා" ගුරුන්නාන්සේගෙන් නැටුම් ඉගෙන ගන්නා කාලයේදී. එතුමා නිර්මාණය කළ 'බැලේ' නාට්‍යයන්ට සංගීතය නිර්මාණය කරන්න ඔහු නිතර දෙවේලේ එනවා.

ඔහු සතු මානුෂීය ගුණය වඩාත් කැපිලා පෙනුණා. හැමෝමත් එක්කම සුහදව, සිත්දිනා ගෙන කටයුතු කරන ඔහු බෙහෙවින් පි‍්‍රයමනාප කෙනෙක් වුණා. අපි බොහොම මිත‍්‍රශීලීව කාලයක් ඇසුරු කළා.

මේ මිතුරුකම නිසාම කොළඹ ආපුවාම මා සමඟමයි නතර වුණේ. අවසන් කාලයේදී බොරැල්ල "ඩියුරෝයි" හෝටලයේ කාමරයක නතර වෙලා මාත් සමඟ නිර්මාණ කටයුතුවල යෙදුණා.

ඔහු ගැන කතා කරන කොට මහා සංගීතවේදියාණන් ගැන කතා කරනවද? නැතිනම් ඔහු තුල සිටින චිත‍්‍ර ශිල්පියා, එසේ නැත්නම් දේශපෙ‍්‍ර්මියා ගැන කතා කරනවද කියන එකයි ප‍්‍රශ්නේ.

මෙවැනි චරිත ගැන අද අපේ ළමා පරපුරට කියාදීම වැදගත්. මොහුගේ කලා කෞෂල්‍ය පිළිබඳව කතා දෙකක් නැහැ. ඔහු කළ මෙහෙවර පිළිබඳව කිසිම තැනකින්, රජයකින්, ඇගයීමකට ලක් කළේ නෑ. මා දන්නා විදිහට ඔහු, අවසන් කාලයේ දැඩිසේ හුදෙකලා වුණා. බොහෝ කලකිරුණා.

සමරකෝන් පදනමේ ලේකම් වික්ටර් බණ්ඩාර සේනාරත්න. ඔහු මගේ පියා (මේජර්වරයෙකු වන විමල බණ්ඩාර සේනාරත්න) ගේ අතිජාත මිත‍්‍රයෙක්. චිත‍්‍ර, සංගීතය, ගායනය, නැටුම්, ලේඛනය, පද රචනය, රංගනය මේ කොයික ගත්තත් ඔහු සතු දැනුම, නිර්මාණශීලීත්වය හරි අගෙයි. අතට අහුවුණ ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කිරීමේ හුරුව ඔහුට තිබුණා. දක්ෂ සිතාර් වාදකයෙක්.

උස අ' 5 අ'' 8 ක් පමණ හීන්දෑරි තළෙළු මේ අපූරු මිතුරා අපේ නිවහනේ තිබූ සංගීතකාමී පරිසරයට ආදරය කළා. ඔහු එහිදී නිර්මාණ කටයුතු රැසක් කළා. මට එතකොට අවුරුද දහයක කොලු ගැටයෙක්. මට මතකයි ඒ ගී තනු.

බැස සීතල ගඟුලේ.... සැඩ සුළං චිත‍්‍රපටයේ තේමා ගීතය වූ ශී‍්‍ර ලංකා, මා පි‍්‍රයාදර ජයභූමී, දුප්පතාගේ දුක, වැදිබිම චිත‍්‍රපට ගීත. ඔහු කලාවට වගේම පරිසරයට ඉතා ආදරය, ඇල්ම දක්වපු කෙනෙක්. ඔහුගේ ගීත ජනපි‍්‍රය වීමට හේතුව පරිසරය, සොබා සෞන්දර්ය, ජන ගීතය බද්ධව නිර්මාණ කිරීමයි.

ඔහු උපතින් කි‍්‍රස්තු භක්තිකයෙක්. උප්පැන්නේ තිබුණ නම පවා පසුකාලෙක ඔහු වෙනස් කර ගත්තා. සැම විටෙකම ජාතික ඇඳුම තමයි ඔහු ඇන්දෙ. ඔහු මියයන තුරුම බෞද්ධයෙකු ලෙස කටයුතු කළා.

හරිම සුන්දර හදවතක් තිබුණා. ඉතාම කරුණාවන්ත කෙනෙක් ඔහු. ඔහුගේ කලා හැකියාව අනන්තයි, අප‍්‍රමාණයි. හරියට මහා සාගරයක් වගෙයි. එවන් කෙනෙකුගේ් උපතත් දුර්ලභ දෙයක්.

මේ ලෙස තවදුරටත් අදහස් දක්වන්නේ එදා ඔහු හා හිතවතෙකුව සිටි ප‍්‍රවීණ ගායන ශිල්පී නාරද දිසා සේකරයන්.

ඔය 1954 වසර. මම ඒ කාලෙදි ගුවන් විදුලියේ වැඩ කළා. සමරකෝන්, සුනිල් ශාන්තයන් ද ඇවිත් වැඩසටහන් කළා. ඒත් හිටපු ගමන් මේ දෙන්නගේ වැඩ තහනම් වුණා.

වනවිට ඔවුන් අපටම ආවේණික වූ සිංහල සම්ප‍්‍රදායක් හඳුන්වා දෙමින් ඒ නිර්මාණ කටයුතුවල නියැළුණු නිසා ඔවුන් ගිය මඟ යන්න මට අවශ්‍ය වුණා.

ලංකා පාර්ලිමේන්තුවේදීත් ප‍්‍රශ්න කළා, මේ දෙන්නගේ වැඩ තහනම් වීම ගැන. නැවත ඔවුන්ගේ කැඳවීම් පණිවිඩය, ඔවුන් වෙතට එදා රැගෙන ගියේ මමයි.

ගුවන් විදුලියෙ නොයෙකුත් කප්පාදු නිසා ඔවුන්ගේ දැනුමෙන් උපරිම ප‍්‍රයෝජන ලබන්න අපට හැකි වුණේ නෑ.

මේ දෙදෙනා නිර්මාණය කළ සමහර ගී තැටි, යකඩ ඇණවලින් ඉරා විනාශ කරපු යුගයක ඒ ගී තැටි, හැකි පමණින් ආරක්ෂා කොට සංරක්ෂණය කරන්නට මට හැකි වුණා. මම නොහිටියා නම් ඒ දේත් වැළකී යනවා.

එවකට මම ගුවන් විදුලියේ ඉංජිනේරු අංශයේයි සේවය කළේ. ඉන්දියාවට ගොස් තාගෝර් තුමාගෙන් චිත‍්‍ර, සංගීත ශිල්ප ඉගෙන පැමිණියත් ඔහු කිසි විටෙක අනුකරණ වාදියෙකු වූයේ නෑ. ඔහු අන්තිමට ඉදිරිපත් කළේ පහණ හා රන් එතනා ගීත නාටකය. එහි ප‍්‍රධාන ගායකයා හැටියට මාව තෝරා ගත්තා.

ඔහු පිළිබඳව නොදන්නා බොහොමයක් දේවල් ගැන කතා කරන්න කැමතියි.

මෙසේ සංවාදයකට එළැඹුණේ සුනිල් සමරකෝන්. ඔහු ආනන්ද සමරකෝන් මහතාගේ සොයුරකු වූ බර්ටි සමරකෝන්ගේ වැඩිමහල් පුතණුවන්ය.

ඔහු ශ්‍රේෂ්ට චිත‍්‍ර ශිල්පියෙක්. ඔහු ඇඳ ප‍්‍රදර්ශනයට තැබූ සිතුවම් රැසක් තවමත් මා ළඟ තිබෙනවා. ඔහු චිත‍්‍ර ඇඳි ක‍්‍රමයේ ද විශේෂත්වයක් තියෙනවා.

එය හඳුන්වන්නේ "පිරිදෝ සිත්තම්" නමින්. පරිසරයෙන් ලබාගත් පස්, මැටි, ගල්, බොරලු, අගුරු, දුරු මිරිස් හා විවිධ ශාක පත‍්‍රවල යුෂ වලිනුයි චිත‍්‍ර ඇඳ ගත්තේ. විවිධ රටවලට ගොස් ඒවා ප‍්‍රදර්ශනය කළා. ඒ රටවල තවමත් ඒ සිතුවම්, කෞතුකාගාරවල දැක ගත හැකියි.

මුළු ලෝකය පුරාම චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වුවා. පසුකාලීනව කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේත්, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේත් පාසැල් ගීත ඔහු විසින් නිර්මාණය කළා.

ඔහු බොහෝ ගීත ලීවේ තනුවද හිතට නඟා ගනිමින්. එය මා දකින සුවිශේෂත්වයක්. පවුලේ අයට හරිම ආදරෙයි. ලොකු අම්මා (කරලැයින්) ඔහුගේ කලා දිවියට සහාය වුණා.

ඔහු කලාව නිසා බොහෝ ළතැවුල්, වේදනාකාරී කටුක අත්දැකීම් ලැබුවා. කුළුදුලේ උපන් එකම දරුවා වූ පස් හැවිරිදි "අරුණාදීපගේ" වියෝව ඔහුගේ වේදනාව දෙගුණ, තෙගුණ කළා.

ඔහු "කලා සෙවණ" නමින් කලායතනයක් පවත්වා ගෙන ගියා. ගුවන් විදුලියේදී, කලා මණ්ඩලයේදී ඔහුට හිමිවූ තැන සතුරන්ගේ කුමන්ත‍්‍රණ නිසා අහිමි වුණා.

එදා ජාතික ගීය වෙනුවෙන් රජය පිරිනැමූ රු 2500 මුදල පවා ලබා ගැනීමට ඔහුට හැකිවුණේ නෑ. ඒ එදා ඒ ගීතය, "කුමුදුනී" පොතෙහි ප‍්‍රකාශයට පත්වීම නිසායි.

ලොකු තාත්තා දරුණු ලෙසම සිත් තැවුලට පත් කළ සිදුවීම නම්, එදා ඔහු ඉතා ගෞරවයෙන් ලියූ "නමෝ නමෝ මාතා" ගීයට එල්ල වූ අපවාදයන්.

1961 දී එවක රජය ඔහුගෙන් කිසිවක් නොවිමසා ඒ ගීය ආරම්භයේ එන "නමෝ නමෝ මාතා" වාක්‍ය ඛණ්ඩය වෙනුවට "ශී‍්‍ර ලංකා මාතා" යනුවෙන් කොටසක් එක් කළා. ගණ දොස් ඇති නිසා ජාතික ගීය සංශෝධනය කළ යුතු යැයි නැඟුණු උද්ඝෝෂණවලට මුවා වෙලා කෙරුණේ පලිගැනීමක්.

"මේ කලකිරීම එන්න එන්නම වැඩි වුණා. ඒ නිසා මහප්පා හුඟක් දුකෙන් සිටියා මතකයි.

ඒ ගීය වෙනස් කරපු දවසේ හවස ඔහු නුගේගොඩ පාගොඩ, අපේ නිවසට ආවේ කඳුළු පුරවාගෙන. මට එතකොට අවුරුදු 14 යි. එදත් ඔහු එයාගෙ සුපුරුදු බේබි ඔස්ටින් කාරෙකෙන් ආවේ.

"පුතා මගේ ඔළුව ගලවලා, වෙන ඔළුවක් හයි කළා." එදා ඔහු කීව දේ අරුත මට දැනුයි වැටහෙන්නේ."

මෙවන් නිර්මාණයක් කිරීමෙන් කිසිවකුගෙන්, කිසි බලධරයෙකුගේ නිසි ඇගයීමක් ලැබුණේ නෑ. අඩුම තරමේ ඔහු නමින් පාරක් හෝ ස්මාරකයක් වත් සාදා නැහැ."

"එදා 1962 අප්‍රේල් 02 වෙනිදා. හරියටම ඔහුගේ මවගේ උපන්දිනය දා. එදා ආච්චි අම්මා හිටියේ අපේ ගෙදර. ඒ දවසේ කාල බීලා, විනෝද වෙලා, ආච්චි අම්මාටත් වැඳලා ඔහු කළා අපූරු නිර්මාණයක්. බුදුන්වහන්සේව සිතුවමට නඟා, ඒ අසල හිඳින සුන්දර මුව පොව්වෙකු. මට ඒ දවසේ සහලෝලා උණ.

එදා ඔහු ගෙදර ගොස් ලොකු අම්මාත් සමඟ සුහදව කතා කරලා තිබුණා. නින්දට ගොස් ඔහු පහුවදා අවදි වූයේ නැහැ. ඔහු නිදි පෙති පානය කළ බව අප දැනගත්තේ පසුවයි."

කෙසේ වුවත් ඔහු ජනතාවාදී කලාකරුවෙකි. නිර්මාණශීලි කලාකරුවෙකුගෙන් දේශයට සිදුවිය යුතු උදාර මෙහෙවර ඔහු ඉටුකැර ඇත.


ජයමිණි අත්තනායක

(c) Shilpa Sayura Foundation 2006-2017