සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය කෝලිත භානු දිසානායක
මේ ගාන්ධර්වයෝ දෙදෙන එක ම වසරක, එක ම මසක ඉපිද, එක ම සමයක සංගීත නිර්මාණ කාර්යයට එළැඹ, ස්වකීය සම්ප‍්‍රදායයෙන් මෙන් ම අන්‍ය මහා සම්ප‍්‍රදායයන් ගෙන් ද සරු දෑ ගෙන තම නිර්මාණයන්හි අධ්‍යාත්මය පෝෂණය කොට, අනන්‍ය සාධාරණ නිර්මාණ හා ගායන කෞශල්‍යයක් ප‍්‍රකට කළෝ ය.
වික්ටර් රත්නායක හා සනත් නන්දසිරි නම් වන මේ සමකාලීන සංගීත සුධීන් දෙදෙන පුරා දශක හතරක් ඉක්මවා දීර්ඝ හා ස්වීය සංගීත ප‍්‍රයත්නයෙක යෙදෙමින් පැමිණි දිවි මඟැ 66 වන සැතැපුම කරා ළඟාවන්නේ එළැඹෙන පෙබරවාරි මාසයේ දී ය.
ඔවුන් ගේ යුග කාරක මෙහෙවර ද අප ගේ නොමඳ වීමංසනයට භාජන විය යුතු ය යන අපේක්ෂා පෙරදැරිව මේ දෙදෙන ගේ කාර්ය භාරය හා අගය පුනරාවලෝකනය සඳහා සියුමු සංගීත ඥානයෙන් හා ව්‍යවහාරයෙන් පිරිපුන් වර්තමාන සංගීතඥයකු සොයා ගියෙමු.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය කෝලිත භානු දිසානායකයෝ විකටර් - සනත්, සනත් - වික්ටර් නම් දුර්ලභ සංගීත පුරුෂයන් දෙදෙන ගැන මෙසේ සංලාපයෙක නිරත වෙති.
එළැඹෙන පෙබරවාරි මාසයේ ස්වකීය 66 වන විය සපුරන සංගීතවේදී වික්ටර් රත්නායකයන් හා මහාචාර්ය සනත් නන්දසිරි යන අද්විතීය සංගීත නිර්මාණ ශිල්පීන් දෙදෙන ගේ් ඔබ දක්නා වෙසෙස් ලක්ෂණ මොනවාද?
මහාචාර්ය සනත් නන්දසිරි උත්තර භාරතීය රාගධාරී සංගීතය සිය නිර්මාණ සඳහා බහුලව භාවිත කොට තිබෙනවා. ඔහුගේ ගායන රටාව අන්‍ය ගායකයන්ට වඩා වෙනස් ප‍්‍රායෝගික මුහුණුවරක පවතිනවා. ඔහු ගේ කටහෙඩ් ස්වභාවයත්, ගායනා ලීලාවත් ගත්තහම එහි පැහැදිලි අනන්‍යතාවක් දිස්වෙනවා.
ගායනයේ දී පෙනෙන විශේෂ ලක්ෂණය වන්නේ ඔහු භාරතීය රාගධාරී සංගීතයේ පවතින ශිල්ප ක‍්‍රම ස්වකීය ගායනයේ නොපැකිළ භාවිත කිරීමයි. ඔහු මෙරට දේශීය ජන සම්ප‍්‍රදාය සිය නිර්මාණවලට යොදාගෙන තිබෙන්නේ අල්ප වශයෙන්.
වික්ටර් රත්නායකයන් ගතහොත් ඔහු ඉන්දියාවේ අධ්‍යාපනය ලැබූවෙක් නොවෙයි. එහෙත් රාගධාරී සංගීතය ඔහු භාවිත කරපු අවස්ථා තිබෙනවා. දේශීය මූලාශ‍්‍ර භාවිත කිරීමේදී ඔහු ජන සංගීත විධික‍්‍රම බහුලව භාවිත කරනවා.
රාගධාරී සංගීතය භාවිත කිරීමේ දී මේ දෙදෙන අනුගමනය කරනුයේ එකිනෙකට වෙනස් ස්වරූප දෙකක්. උදාහරණයක් හැටියට ගත්තහම සනත් නන්දසිරි මහතාගේ නිර්මාණයන්හි සමහර අවස්ථාවල පැහැදිලිවම රාගය දකින්නට නැහැ.
ඔහු නිර්මාණශීලීව රාගය ස්වකීය නිර්මාණයට අවනත කරගෙන සිටිනවා. වික්ටර් රත්නායක ගායනා කළ ‘හෝපලු වන පෙත’ ගීතයේදී පැහැදිලිවම ඒ රාගය දකින්නට තිබෙනවා.
මෙහි දී මේ දෙදෙනාගේ ප‍්‍රායෝගික තත්ත්වය දෙස බැලුවහ ම දෙදෙනාටම පොදු වූ ලක්ෂණය වන්නේ් මේ අය ලෝකයේ පවත්නා සංගීත සම්ප‍්‍රදායයන් අතුරින් ප‍්‍රධාන වශයෙන් බටහිර සංගීතය සහ අනෙකුත් සංගීත සම්ප‍්‍රදායයන්හි ආභාසය හා පිටිවහල අවශ්‍යතාව පරිදි සිය නිර්මාණයන්ට යොදාගෙන තිබීමයි.
උදාහරණයක් ලෙස වික්ටර් රත්නායකයන් විටෙක ඔහුගේ නිර්මාණවලට ‘නාගස්වරම්’ නම් වූ කර්ණාට සංගීත භාණ්ඩය භාවිත කරනවා. ඒ වගේ ම කවීන් නමැති සංගීත භාණ්ඩය පාවිච්චි කරනවා.
දෙදෙනාගේම පරස්පර විරෝධතාත් දක්නට ලැබෙනවා. සනත් නන්දසිරි මහතා රාගධාරී පාර්ශ්වය අනුගමනය කර තිබෙන ප‍්‍රමාණය වැඩියි. දේශීය මූලාශ‍්‍ර භාවිත කර තිබෙන ප‍්‍රමාණය ඊට වඩා අඩුයි. වික්ටර් රත්නායකයන් රාගධාරී සංගීතය හා දේශීය මූලාශ‍්‍ර සම සේ භාවිතා කර තිබෙන බවයි මගේ හැඟීම.
මේ දෙදෙනම පුරෝගාමීන් ගෙන් ලද ආභාසය ස්වකීය නිර්මාණ සඳහා යොදාගෙන තිබෙන්නේ ස්වීයත්වය ඉස්මතු වන පරිද්දෙන්ද?
පැහැදිලිව ම ඔව්. අද මේ රටේ මාධ්‍ය කලාව යැයි කියා ගනිමින් විකාරරූපී මාධ්‍ය කලාවක නිරත වන සමහර විද්‍යුත් මාධ්‍ය ආයතන මේ රටේ ඒ අය ප‍්‍රියකරන නැත්නම් ඒ අයට ජනප‍්‍රිය කරවන්න යැයි කියන කොන්ත‍්‍රාත් දෙන අංග මේ රටේ ජනප‍්‍රිය කරවීමේ වෑයමක නිරත වෙනවා. ඒ මොන වෑයම ගත්තත්, මොන කි‍්‍රයා පිළිවෙත අනුගමනය කළත් වික්ටර් - සනත් වැනි කලාකරුවන් නියෝජනය කරන යුගයට අත තියන්න බැහැ.
ඒ යුගයට කිට්ටු වෙන්නවත් බැහැ. අපි ඊට වඩා පරම්පරා ගණනාවකට පස්සේ කලාවට යොමු වුණු පිරිසක්. අපට වුණත් අපේ නිර්මාණකරණයෙන් ගායනයෙන් මේ යුගයට ළඟාවීමට අපහසුයි. මොකද මේ යුගය ඒ තරම්ම රමණීය ප‍්‍රශස්ත ඉතා ම සාර්ථක වූ යුගයක් ලෙස නම් කළ හැකියි. ඒකයි මම කියන්නේ ඒ යුගය අතික‍්‍රමණය කළ නොහැකියි කියලා.
අතික‍්‍රමණය කිරීම මම හිතන විදියට කිසි කෙනෙකුට කළ නොහැකියි. මේ දෙපළගේම විධිමත් ගමන් මාර්ගයට අවශ්‍ය කරන මාධ්‍ය ආවරණය ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ලැබුණු නිසා ඔවුන්ගේ යුගය ශික්ෂාකාමී යුගයක්. ඒ ශික්ෂාකාමී හා විධිමත් බවත්, පාලනයත් සමඟ මේ දෙපළ ඒ පරිසරයේ උපරිම ඵල නෙළා ගත් දෙදෙනකු වශයෙන් හඳුන්වන්න පුළුවන්. මේ දෙපළම ස්වීයත්වය භාවිතා කිරීම කියන පාර්ශ්වයෙන් සමසේ සැලැකිය හැකියි.
මොකද සනත් නන්දසිරි මහතාට ඔහුටම ආවේණික වූ ස්වීයත්වයක් තිබෙනවා. වික්ටර් රත්නායකයන්ට එතුමාට ම ආවේණික වූ ස්වීයත්වයක් තියෙනවා. මේ දෙදෙනාටම ඔවුන් ප‍්‍රිය කරන්නා වූ වෙන වෙන ම රසික පිරිසක් ඉන්නවා. ඒ රසික ප‍්‍රජාව දැනට දශක හතරක වගේ කාලයක් තිස්සේ මේ දෙදෙන අත්හැර ගොස් නැහැ.
මේ දෙපොළගේ ම ස්වීයත්වය ඉස්මතු වන නිර්මාණ පිළිබඳව කතා කළොත්...?
සනත් නන්දසිරි මහතාගේ නිර්මාණයන්හි ස්වීයත්වය ඉස්මතු වන අවස්ථාවක් ගතහොත් එකක් තමයි ‘සොවින් පිරි මගේ හදවත...’ ගීතය. ඊළඟට සැන්දෑ කළුවර ගීතය. එතුමාගේ බටහිර ආභාසය පිළිබඳව කතා කළොත් ‘සීත ø වසන්තේ’ වැනි ගීත අපට දක්වන්න පුළුවන්.
නමුත් මේ අතරතුර රාගධාරී සංගීතයට අතිශයින් බර වූ ගීත, ගුවන් විදුලි නාටකවල ගායනා කළ ගීත වැනි ඒවා විශේෂයි. “බෝ මළුවේ”, “බුදු හාමුදුරුවො වැඩියා වගේ” වැනි ගීතවලින් මතු වුණේ සනත් නන්දසිරි කියන ප‍්‍රතිභාපූර්ණ ගායකයායි. එතුමාගේ ශෛලියට ගීත ගායනා කරන්න පෙළැඹුණු ආධුනික අයත් පසුගිය කාලයේ බිහි වුණා.
නමුත් එතුමා ගේ හඩින් ඒක ගායනා කරන එකේ තේරුමක් නැහැ. ඒක අනවශ්‍යයි. මොකද සනත් නන්දසිරි කියලා එක්කෙනයි ඉන්නේ. ඒ මඟ යමින් වෙනත් ආරක් ගත් අයෙකුයි අපට අවශ්‍ය වන්නේ.
වික්ටර් රත්නායකයන් ගේ ස්වීයත්වය ඉස්මතු කරන අවස්ථාවන් ගතහොත් සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ, තනි තරුවේ, තොටුපළ අයිනේ, චංචල අඳුරු ලොවේ, හිත මිතුරු සුළඟ, නංගියේ මල්ලියේ වැනි ගීත ගොන්නක් තිබෙනවා. ශාස්තී‍්‍රය පැත්ත කතා කරනවා නම් හෝපලු වනපෙත.. වැනි ගීත දැක්විය හැකිය.
ඔහු වෙනත් ගායකයන් ගේ් තනු ගායනා කොට තිබෙනවා, ශාස්තී‍්‍රය ආභාසයන් සහිත ගීත වශයෙන්. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සංගීත රචනා කළ ‘නුඹේ නමින් මා දුක් වී...” යන ගීතය විශේෂයි. එය දර්බාරි හා කෞෂිකානඩා කියන රාග පදනම් කොට ගෙන තිබෙනවා. මේ දෙදෙනම එක සමාන කාල වකවානුවක තමයි ගුවන් විදුලියේ නිර්මාණ කටයුතු වලට පෙළඹුණේ.
සමකාලීනයන් විදියට අපට ඔවුන් සැලැකිය හැකියි. මේ අය අතර බොහොම සුන්දර වූ තරගයකුත් තිබුණා. එකෙකා හෙළා තළමින් කපා කොට ගනිමින් යන ගමනක් නොවෙයි ඒක. වික්ටර් රත්නායකයන් නව නිර්මාණයක් කරන කොට ඊට නොදෙවැනි නිර්මාණයක් කරන්න සනත් නන්දසිරි මහත්මයා උත්සාහ කළා. මෙබඳු තරගයක් එක්තරා අවස්ථාවකදී එච්.ආර්. ජෝතිපාලයන් හා මිල්ටන් පෙරේරා ගායනාවේදියා අතර තිබුණා.
අන්තිමට රටේ රාවයක් ගියා මේ දෙන්නා තරහයි කියලා. ඒ නිසා තමයි ඔවුන් “අපි සන්තෝසෙන් ඉන්නේ... දුක සෝකය නෑ දන්නේ... අයියා මල්ලි වාගේ... කියලා ගීතයක් ගායනා කළේ. වික්ටර් - සනත් දෙදෙන අතරත් සුන්දර කලාත්මක වූ තරගයක් තිබුණා. නමුත් රසිකයා මේ නිර්මාණ වැලැඳ ගැනීමේ දී මේ දෙදෙනාම ප‍්‍රිය කරන රසික සංඛ්‍යාව සුවිශාලයි.
ඒ තත්ත්වය පිටුදකිමින් සනත් නන්දසිරි මහත්මයාගේ ගීත පමණක් අහන සහ ඔහු ඉතාමත් ප‍්‍රියකරන පිරිසකුත්, වික්ටර් රත්නායකයන්ගේ ගීත පමණක් ප‍්‍රියකරන රසික කොටසකුත් ඉන්නවා. මෙතැනදී වික්ටර් රත්නායකයන් ගේ යම් විශේෂත්වයක් පෙන්නුම් කෙරෙනවා.
එතුමාගේ ‘ස’ ප‍්‍රසංගය කෙරෙන්. සනත් නන්දසිරි මහත්මයා ‘ස්වර්ණ කුණ්ඩල’ කියලා ඒක පුද්ගල ප‍්‍රසංගයක් පටන් ගත්තා. නමුත් ඒක පුද්ගල ප‍්‍රසංග පැත්තෙන් මේ රටේ සියලුම කලාකරුවන් අභිබවා වික්ටර් රත්නායකයන් ඉන්නවා.
ඒක කාටවත් පරිහාසයක් අපහාසයක් කරන්න කියන කතාවක් නොවෙයි. ‘ස’ ප‍්‍රසංගය අදටත් වසරකට හතර පස් වතාවක් පැවැත්වෙනවා. වික්ටර් රත්නායකයන්ට ඇරෙන්න එවැනි ප‍්‍රසංගයක් තාම ලංකාවේ කාටවත් පවත්වන්න බැරි වුණා.
මේ දෙදෙනාගේ ආගමනය ශ‍්‍රී ලාංකික ගීත ශ‍්‍රාවකයාට වඩාත් ප‍්‍රබෝධකර, ආශ්වාදනීය ප‍්‍රවේශයක් ළඟාකරලීමට බල පෑ සාධක පිළිබඳව අවධානය යොමු කළොත්.
ඉතාමත් පැහැදිලි ප‍්‍රවේශයක් ලබාදුන්නා. මේ දෙදෙනාගේ ආගමනය හා ඊට පෙරාතුව අමරදේවයන්ගේ ආගමනය, ඊටත් පෙරාතුව ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැනි අයගේ ආගමනය සැලැකුවොත්, මේ කලින් කලට පහළ වූ කලාකරුවන් නිසා මෙරට විධිමත් ශික්ෂාකාමී රසිකත්වයක් බිහිවුණා.
“ශික්ෂාකාමී රසිකත්වයක්” කියන එක මම අවධාරණය කරන්නේ අද තියෙන්නේ “ශික්ෂාකාමී රසිකත්වයක්” නොවන නිසයි. කාලීන උන්මාදයෙන් යුත් ඉරිතැලී ගිය රසිකත්වයක් දැන් තියෙන්නේ.
නමුත් වික්ටර් - සනත් දෙදෙනගේ නිර්මාණ නිසා මෙරට ඇති වුණු පදනමෙන් බිහිවුණු රසිකත්වයක් මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ තිබෙනවා. ඒක වළකාලන්නට අමතක කරවන්නට බැහැ.
මේ රටේ විකාරරූපී මාධ්‍ය කෝලම් රඟදක්වන සමහර මාධ්‍ය ආයතන හිතන දේ කාලයකට පමණයි ගැළැපෙන්නේ. නමුත් මේ දෙපළ සර්වකාලීනයි. උත්තර භාරතීය රාගධාරී සංගීතයේ තියෙනවා ‘සර්ව කාලීන’ කියලා රාග විශේෂයක්. ඒ රාග, දවසේ ඕනෑම වෙලාවක අහලා රසවින්දනය කළ හැකියි. සමහර රාගවලට විශේෂිත වූ වෙලාවන් තියෙනවා. අර සර්වකාලීන රාග වගේ මේ දෙදෙන අනුස්මරණීයයි. ඔවුන් ගේ නාමය මිය යන්නේ නැහැ.
මේ කරදිය වළල්ලෙන් එහාට ඔවුන් තම නම රන්දලා තියෙනවා. ඊට අභියෝග කරන්නට කාටවත් බැහැ. කවුරු හරි හිතන්න කියන්න පුළුවන් පරම්පරා හතරකට විතර පස්සේ අප, අප ගැනම අවතක්සේරුවෙන් කතා කරනවා කියලා. ඒක එහෙම නොවෙයි. යම්කිසි පුද්ගලයකු කලාකරුවකු අතින් යම්කිසි නිර්මාණයක් සිදුවෙලා ඒක රටේ පිළිගත හැකි නිර්ණායක ඔස්සේ යථාර්ථයක් බවට පත් වුණාට පස්සේ ඒකට අභියෝග කරන්න බැහැ.
කාටවත් කියන්න බැහැ මුල් ගායකයාට වඩා, පසුව ඒක ගායනා කළ ගායකයා හොඳයි කියලා. මොකද මූලික කෘතිය කියන්නේ අංක එක. එය පිටුදකින්න හෝ අතික‍්‍රමණය කිරීමට බැහැ. කිසියම් කෙනකුට මේ අය ගිය මාර්ගය හඳුනා ගනිමින් තවත් ගමන් මාර්ගයක යන්න පුළුවන් වෙන ක‍්‍රමයක් සොයාගත හැකියි.
ගීතය සහ ගීතයට ඇවැසි ව්‍යවහාරික සංගීතය කියන දෙය හා සංගීත අධ්‍යක්ෂණයේදී මොවුන් පළ කළ දේ අපට හිතාගන්න බෑ කියලා මම කියන්නේ නෑ. අපට ඒ නිර්මාණය කරලා තියෙන්නෙ කොහොමද කියලා හිතන්න පුළුවන්.
මම කියන්නෙ ඊට පසුකාලීන පරම්පරාවට දෙයක් කරන්න පුළුවන්. නමුත් එය ඒ යුගයේලා ඒ තත්ත්වයන්ට අනුව කිසියම් ඇගැයීමකට හෝ පිළිගැනීමකට ලක් කරනවා විනා එය ඊට සමානයි කියා කිව නොහැකියි. අපේ නිර්මාණ මොවුන් ගේ නිර්මාණ හා සාපේක්ෂ කරන්න බැහැ. ඔවුන්ගේ නිර්මාණ යථාර්ථයක් වී හමාරයි.
පැරැන්නන්ගේ හා ඔවුන්ගේ නිර්මාණ සමකරන්න බැහැ කියලයි මම කියන්නේ. කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ අද කාලේ නිමවන ගීතය එදා යුගය අභිබවා ගියා කියලා කියන්න. අද කාලේ ගුණ දොස් විමසීමේ නිර්ණායක එදා නිර්මාණයක ගුණදොස් විමසන නිර්ණායකයට වඩා වෙනස්. එක කෝදුවෙන් මේ දෙකම මනින්න බැහැ.
මේ දෙදෙනාගේ ගායන චාතුර්යය ගායන ලීලාව ඔබ විග‍්‍රහ කරන්නෙ කොහොමද?
සනත් නන්දසිරි ගායකයා ගායනා කරන විට ඔහු ගීතයක තිබෙන ස්වරස්ථාන හැසිරවීමේදී ඔහුගේ කටහඬ හා ඔහු විසින් අනුගමනය කරනු ලබන ශෛලියට අවනත වන්නා වූ යම් යම් ස්වර ඛණ්ඩ සම්බන්ධ කරමිනුයි ගායනා කරන්නෙ.
එසේ කිරීමේදී භාරතීය සංගීතයේ තිබෙන කොටස් ඔහු බහුලව භාවිතා කරනවා. වික්ටර් රත්නායකයන් තම කටහඬ මෙහෙයවීමේදී බොහෝ විට මාත‍්‍රා එකක්, දෙකක්, තුනක් තුළ ස්වර ඛණ්ඩ හතරක් පහක් ගන්නවා. ඒ විදියේ ශෛලියකුයි ඔහුට තිබෙන්නේ. ඇත්තෙන් ම ඒක ලියා පෙන්වීම අපහසුයි.
මේ දෙදෙනම සංගීතයේ එක් පාර්ශ්වයක් වන ගී තනු නිර්මාණයට පමණක් යොමු වී ඇතැයි චෝදනාවක් එල්ල වී තිබෙනවා.
ඔය චෝදනාව කාටත් පොදු දෙයක්. ඕනෑම කෙනෙක් නිර්මාණ කටයුතු සහ වෙනත් දෙයක් ඇසුරේ දීප්තිමත් කාල වකවානුවක් ගත කරනවා. එක්තරා කාලයක දී ඒ අය නිර්මාණ කටයුතු කරන වකවානුව, ඒ පරිසරය, එවකට තිබෙන සමාජ තත්ත්වයන් සහ දේශපාලනික වාතාවරණය පවා එයට බලපෑම් කරනවා.
මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඕනෑම කෙනකුට සාරවත් නිර්මාණ කරන, ලහි ලහියේ නිර්මාණකරණ නිර්මාණාත්මක සිතිවිලි හැමවිටම උද්දීපනය වන කාලයක් තිබෙන බවයි. විශේෂයෙන් කලාකරුවකුගේ ඒක පැහැදිලිව පෙනෙනවා.
මොකද ඔවුන් සමාජයට ස්වකීය නිර්මාණ දායාද කරන නිසා. මේ දෙදෙන ගේත් ඔවුන්ට උපරිම හැකියාව තිබුණු කාය ශක්තිය, මානසික ශක්තිය තිබුණු කාලයේ ඒ හැම නිර්මාණයකටම දායක වුණා. නමුත් මේ වන විට ඒ අය අමරණීය වූ අනුස්මරණීය වූ ගී නිර්මාණ පෙළහරක් ඉදිරිපත් කොට කිසියම් විවේක සුවයකින් පසුවෙනවා.
මේ අය දැන් සින්දු කියන්නෙ නෑ කියන තැනට දාන්න බැහැ. මම ඒකට සපුරාම විරුද්ධයි. සමහර අය කියනවා ජ්‍යෙෂ්ඨ අය ඉදිරිපත් වෙන්නෙ නෑ කියලා. ඔවුන් ඔවුන්ගේ කාලයේ ඒවා කරලා තියෙන්නේ. ඒ අය උපරිම වශයෙන් ගීතය කියන විෂයයට සිය දායකත්වය සපයලා තියෙනවා.
දෙදෙනම ස්වකීය යුගයේ නිර්මාණ කරලයි ඉන්නේ. මේ අය මේ ක්ෂේත‍්‍රයේ පියවරු. සංගීතයේ ගුරුවරු. මම වික්ටර් රත්නායකයන්ගෙන් ඉගෙන ගෙන නැහැ. නමුත් එතුමා හමුවුණාම මම ඕන තැනක ශීර්ෂ ප‍්‍රණාම කරනවා. මොවුන් කළ කාර්ය භාරය බොහොමයි. අන් අය සියල්ලෝ අද නෙළමින් ඉන්නේ ඔවුන් වපුරන ලද අස්වැන්නයි. ඒ අස්වැන්න භªක්ති විඳලා තමයි මේ අලුත් පරම්පරාව ජීවත් වන්නේ.
අද විවිධාකාර සංගීත ක‍්‍රම භාවිත කරනවා. ඒවා කොයිතරම් දුරකට රටේ මුල් බැස ගෙන තියෙනවද යන්න ගැටලුවක්. අද ආධුනික ගී ප‍්‍රසංග පැවැත්වීම විලාසිතාවක් බවට පත්වෙලා තියෙන්නෙ. මේවා ගැන...?
මාධ්‍ය ආයතනවලට වෙන වැඩක් නැහැ. ඕකම විතරයි කරන්නේ. ඔය එක් කෙනෙක්වත් සංගීතයේ පැහැදිලි නිර්ණායකයන්ට හසු නොවන, පද රචනයේ ගත යුත්තක් නැති, සංගීත රචනයේ ගත යුත්තක් නැති, ගී තනුවේ ගත යුත්තක් නැති කිසිම ගීතයක් ගායනා කරන්නේ නෑ.
ඔක්කොම කියන්නේ මේ නිර්ණායකයන්ට හසුවන ගීතයි. ඇයි එහෙම කරන්නේ. එහෙම නම් අද මේ ඉන්න ආධුනික ගීත ගායකයන් කවුරුන් ගේ ගීත ද ගායනා කරන්නේ. තම හැකියාවන් පෙන්නුම් කරන්නේ කවුරු හින්දාද? ඒ අයට අද නිර්භයව ගයන්න ගීයක් හදලා දීලා තියෙන්නේ කවුද? ඉහ මොළ නැති සමහර විනිශ්චයකරුවෝ මේ වගේ ගී ප‍්‍රසංගවලට ගිහින් කියනවා ‘ඔබ මුල් ගායකයාටත් වඩා හොඳට ගායනා කළානේ” කියලා.
වස්ත‍්‍රයක් ඇඳ ගෙන ද ඒ කතාව කියන්නේ. කාටවත් එහෙම කියන්න බැහැ. මුල් කෘතිය කියන එකට අභියෝග කරන්න කාටවත්ම සදාචාරාත්මක අයිතියක් නැහැ. අම්ම, කියන්නේ අම්මා. තාත්තා කියන්නේ තාත්තා. ඒක කාටවත් වෙනස් කරන්න බැහැනේ. ඒ යථාර්ථයෙන් මිදෙන්න බැහැ.
මේ විශිෂ්ටයන් දෙදෙන ගේ සංගීත ජීවිතය යළි විනිශ්චය කරන විට එමඟින් ආධුනිකයනට ලබා ගත හැකි සදුපදේශයන් මොනවාද?
පළමු දේ ඔවුන් තුළ දක්නට ලැබුණු ශික්ෂණය. දෙවැන්න, සාධනාව. සාධනා කියන්නේ සංගීතයෙන් ලබාගන්නා ශිල්පීය සහ මානුෂික පුරුදු පුහුණුවීම්. ගීත ගායනා කිරීමේදී මේ දෙදෙනගෙන් ආධුනිකයකුට ලබා ගත හැකි සාධනා අපමණයි.
ඒ වගේ ම ස්වකීය පෞරුෂයට හිමි කටහඬ මගින් අනන්‍යතාවක් ගොඩනඟා ගත ය